Sunday, April 28, 2013

කිරිකෝඩු දෙයියා

මේ කියන්න යන්නෙ දෙයියා කෝඩුවෙම සිරීපාදෙ ගිය ගමන ගැන. වැඩියත්ම මේක දාන්න හේතු උනේ ඒ ගමනට අදට අවුරුද්දක් පිරෙන නිසා. ඉතින් ඔක්කොටම කලින් සිරීපාද අඩවියට අධිපති සුමන සමන් දෙවියන්ට නමස්කාර කරල මම මාවම දෙයියා නමින් හඳුන්වා ගන්න එක ගැන සමාව අයැද සිටිනව.

ජීවිතේ එක සැරයක් හරි සිරීපාදෙ යන එක සෑම බෞද්ධයකුගෙම බලාපොරොත්තුවක් සහ ප්‍රාර්ථනාවක්. මම බෞද්ධයො ගැන කිව්වෙ අනිත් ආගම්වල අයත් සිරීපාදෙ ගියාට ඒ වගේ බලාපොරොත්තුවක් ඇතුව දැඩි භක්තියකින් සූදානම් වෙලා යනවද කියන එක නොදන්න හින්ද. අර අපේ ඇමතිවරයෙකුත් කියල තිබුනනෙ එයාට පක්ෂයෙ වැඩ හින්ද සිරීපාදෙ යන්නවත් බැරි උනා කියල. ඒ කියන්නෙ පක්ෂය වෙනුවෙන්ම කැප උනා මිසක් තමන්ට සංස්කෘතියෙන්ම ආපු සිරීපාදෙ වැඳ පුදා ගැනීමේ ප්‍රාර්ථනාවවත් ඉටු කර ගන්න බැරි උනා කියන එකනෙ.

ඉතින් ඒ කියපු බලාපොරොත්තුව කාලයක් තිස්සෙ මගෙ හිතෙත් තිබුන. කීප සැරයක් ගෙදර අයත් එක්ක යන්න උත්සාහ කරත් ඒක හරි ගියෙ නෑ. මම අම්මට කිව්වොත් සිරීපාදෙ යමු කියල අම්ම කියනව එහෙම සිරීපාදෙ තනියම යන්න බෑනෙ සීයටවත් කියල නඩයක් එකතු කර ගෙන යමු කියල. ඒ නඩේ ඉතින් කවදාවත් එකතු වෙන නඩයක් නෙවෙයි. ටික කාලෙකින් ආයෙත් මතක් කරොත් ඒ තැටියම තමයි. කොහොම හරි කැම්පස් අවුට් වෙලා පලවෙනි ජොබ් එකට එනකම්ම බැරි උනා වැඩේ කර ගන්න.

පලවෙනි ජොබ් එකේදි තමයි වැඩේ කෙරෙන තැනකට කතා කරන කෙනෙක් මට හම්බ උනේ. ඒ අමිල මල්ලි. මල්ලි උනාට එයා නම් කලින් ගිහින් තියෙනව සිරීපාදෙ. මිනිහගෙ ප්ලෑන් එක හරිම සිම්පල්. ඒ වගේම එක්ස්ප්‍රස්. කොහොමත් ඒ දවස්වල හැටියට සෙනසුරාදත් හාෆ් ඩේ වැඩ කරන නිවාඩු ගන්නත් අමාරු තත්වයක් යටතෙ ඒ වගේ ප්ලෑන් එකක් තමයි හරි යන්නෙ. ඔන්න බලා ගන්නකො ප්ලෑන් එක විස්තර වශයෙන්.

2012 අප්‍රේල් 28 සෙනසුරාද අපි උදේ වරුව ඔෆීස් එ‍කේ වැඩ කලා. රෑ අටට කොටුවෙන් පිටත් වෙන බදුල්ල තැපැල් කෝච්චියට නැග්ග. අපේ ගමනාන්තය හැටන්. රෑ කෑම වේල කෝච්චියේ යන ගමන් කාපු බීපු ඒවයින්ම පිරිමහ ගත්ත. ඔහොම ගිහින් හැටන් වලින් බහින කොට පහුවදා පාන්දර දෙකයි. එතනදි තමයි ප්ලෑන් එක චුට්ටක් අවුට් ගියේ. කෝච්චියෙන් බැහැල අපි දෙන්නා ස්ටේෂන් එකටම වෙලා අපේ අම්ම ඔතල දීපු බත් එක කෑව. කාල එලියට එනකොට තමයි මලයට මතක් උනේ ඒ කෝච්චියේ එන සිරීපාද බැතිමතුන් නල්ලතන්නිය දක්වා ගෙනියන්න බස් එකක් ස්ටේෂන් එකෙන් එලියෙ නවත්තල තියෙනව කියල. ඉතින් ඒ බස් එක අපි බත් එක කාල එනකම් බලන් ඉන්නවයැ.


මෙතන තමයි අපි බත් එක කකා හිටියෙ එලියෙ තිබ්ච්ච බස් එක යනකම්...
කරන්න දෙයක් නැති තැන අපි පයින්ම ටවුමට ඇවිත් තේ එකක් එහෙම බීල යන්න විදියක් විපරම් කරන කොට තමයි ත්‍රීවීල් අයිය කෙනෙක් සෙට් උනේ. එයත් එක්ක නල්ලතන්නියට යන්න අපි තීරනය කලේ ඊලඟ බස් එක තියෙන්නෙ උදේ හයට නිසා. ඒ ගමනට හයර් එක රුපියල් එක්දාස් දෙසීයක්ද කොහෙද ගෙවන්න උනා. කොහොම හරි පාන්දර හතරහමාර විතර වෙද්දි අපි නල්ලතන්නියෙ.

එතනින් අවශ්‍යම දේවල් විතරක් අරගෙන අපි සිරිපා කරුනාව පටන් ගත්ත වැඩි වෙලා නොයවා. සීත ගඟුලෙන් නාගෙන යන එක චාරිත්‍රය උනාට මොකද වතුර නම් අයිස් වගේ. ඒකෙන් නෑව නම් දැන් උනත් යන කෙනෙකුට අපේ පිලිම දෙක බලන්න තිබුන සීත ගඟුල ලඟ. ඒ නිසා චාරිත්‍රය පැත්තක තියල යන්තම් මූන කට හෝදගෙන අපි පිටත් උනා. වීරය වගේ නගින්න ගත්තට ටික දුරක් යනකොටම මහන්සි වෙලා හති දාන්න ගත්ත. ඒ නිසා නැවතුන තැන් ගාන නම් මතකත් නෑ. හැමතැනම වගේ කඩ දාල තිබුන නිසා ඒවයෙන් මොනව හරි කාල බීල ගිමන් ඇරල හෙමීට හෙමීට සිරිපා කරුනා කරපු අපි උඩමලුවට පිවිසෙනකොට උදේ අටහමාරයි.

අමාරුවෙන් සිරිපා කරුනා කරමින්...
අරගෙන ආපු සුදු ෂර්ට් එක ඇඳගත්තෙ එතනදි. ඊට පස්සෙ උඩට නැගල සිරිපාද පද්මය ලඟ ඔලුව බිම ඔබල වැන්ද. ඊලඟට දේවාලෙට ගිහින් අම්ම දුන්න පඬුර ගැටගහද්දි ඉබේම ඇස්වලට කඳුලු ආවෙ ආයෙ කවදාවත් සිරීපාදෙ එන්න ලැබෙන්නැති අම්මයි තාත්තයි වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කලා කියන හැඟීම නිසාමයි. තවත් ටික වෙලාවක් උඩමලුවෙ වාඩිවෙලා හිටපු අපි දෙන්න එන්න පිටත් උනා.
උඩමලුවෙදි...
බහින එක ගොඩක් අමාරු නොවුනට නැගපු මහන්සියත් තිබුන නිසා බහින එකත් එච්චර ලේසි උනේ නෑ. කොහොම හරි දවල් දොලහ විතර වෙනකොට අපි පහලට ඇවිත් තිබුන. පොඩ්ඩක් පරක්කු උනේ ජපන් සාම විහාරයයි චෛත්‍යයයි බලන්න ගිය නිසා. ආ තව මලයට නාන්න ඕනි කියපු නිසා නාන්න ගියා. මම නම් නෑවෙ නෑ ඉතින්. එන ගමන් ගෙදර අයටයි ඔෆිස් එකේ අයටයි අරන් යන්න දොදොල් ටිකක් ගන්නත් අමතක කරේ නෑ. ඒ උනාට ඒ දොදොල් කාපු සමහර අයගෙ ප්‍රතිචාරය මතක් වෙනකොට නම් තාම දුක හිතෙනව.

තව ඉතින් කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. පහල හෝටලේකින් දවල් කෑම කාල එලියට එනකොටම නල්ලතින්නිය-හැටන්-කොලඹ ශ්‍රීලංගම බස් එක පිටත් වෙන්න හදනව දැක්ක. එතකොට හවස දෙකට විතර. සීට් එකට බර වෙලා මහන්සියටත් එක්ක අතරින් පතර නින්දක් එහෙම දාගෙන කොලඹට ඇවිත් ගෙදර යනකොට රෑ අටහමාරට විතර ඇති.

ඔන්න ඔහොමයි දෙයිය කෝඩුවෙම සිරීපාදෙ ගියේ. හරිම සිම්පල්නෙ. හරියට බැලුවොත් දවසයි ගිහින් තියෙන්නෙ. සෙනසුරාද හාෆ් ඩේ වැඩත් කරල රෑ සිරීපාදෙ ගිහින් ඉරිද රෑ වෙද්දි ගෙදරත් ඇවිත් සඳුද වැඩටත් ගියා අපි කකුල් කෙඩෙත්තුවවත් බලන්නෙ නැතුව. ඔය කතාව අහපු ගොඩ දෙනෙක් මාත් එක්ක කිව්ව ඔහොම තමයි බං මේ කාලෙ ඔය වගේ ගමනක් යන්න තියෙන්නෙ කියල. එහෙනම් ඒ වේ ගමනක් එක්ක ගිහින් ොකු පික් කර ගත්තු අමිල මල්ලිට ස්ුති කරමින් පින් දෙමින් ලිපිය අවසන් කරනව.

4 comments:

  1. ඔය විදිහට ක්ෂණික නූඩ්ල්ස් වගේ සෙට් වෙන ට්‍රිප් තමයි යැවෙන්නෙ. නැකැත් බලලා, බුලත් දීල සෙට් කරන ඒවා මගදිම ලොප් වෙනවා.

    ඔය විදිහටම අපි ට්‍රේනින් ඉන්න කාලෙ මායි,ලාසයි,ලවුඩයි,සුදු මල්ලියි හබරණින් සෙට් උනා "නිලාවේලි" යන්න. අන්තිමේදි නිලාවේලි, මුතූර්, සේරුවිල, කන්තලේ ඔය හැම තැනම කැරකිලා තමා ගමන ඉවර උනේ... :D :D

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මචං. මේ කාලෙ ඔහොම ට්‍රිප් තමයි යන්න ඕනෙ. එහෙම යන එකෙත් තියෙනව අමුතුම ආතල් එකක් :P

      Delete
  2. Patta kathawa machan....ela ela...........

    ReplyDelete
    Replies
    1. thanks machan :)
      dan kattiyama dannawa wage blog eka gena, mata oya paththen hoda prathichara enawa digatama :P

      Delete