Saturday, October 25, 2014

හෙන්රි පේදිරිස්

හෙන්රි පේදිරිස් කියන්නෙ කවුද?
  • ලංකාවෙ සල්ලිකාර ඉහළ පැළැන්තියේ පවුලක තරුණයෙක්
  • බ්‍රිතාන්‍ය ප‍ාලන සමයේ කොළඹ නගර ආරක්ෂක බලමුළුවේ (Colombo Town Guard) නිලධාරියෙක්
  • 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය වෙලාවෙදි ගැටුම් කිහිපයක් අවි බලයෙන් නැතුව සාකච්ඡාවෙන් ග‍ොඩ දාපු කෙනෙක්
  • ඒ කරුණ උපයෝගී කරගෙන ඔහුගේ විරුද්ධවාදීන් විසින් බොරු පැමිණිලි යටතේ රාජ්‍ය ද්‍රෝහි‍යකු ලෙස නම් කර හමුදා අධිකරණයකින් වරදකරු කර වෙඩි තබා ඝාතනය කරන ලද නිලධාරියෙක්
  • ඒ හේතුව නිසාම ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ වැදගත් තැනක් හිමි කර ගත්ත චරිතයක්
(වැඩි විස්තර මේ විකියෙන්)

ඒත් මම මේ කියන්න ආවෙ ඒ ගැන නෙවෙයි. ඒ කියන්නෙ හෙන්රි ප‍ේදිරිස් කියන පුද්ගලයා ගැන නෙවෙයි. කොළඹ හැව්ලොක් ටවුමේ ඔහුගේ ප්‍රතිමාව අසලම පිහිටා තියෙන ඔහුගේ නමින් නම් කර තිබෙන ක්‍රීඩාංගණය ගැන. හරියටම කිව්වොත් ඒ ක්‍රීඩාංගණය හා බැඳිච්ච මගේ පළවෙනි ජොබ් එකේ අමතක නොවන කාල පරිච්ඡේදයක් ගැන.

"ගම්ලත්... ඔයාව තමයි හෙන්රි පේදිරිස් ප්‍රොජෙක්ට් එකේ සයිට් ඉංජිනියර් කරන්න ඉන්නෙ... මේ සතියෙම ගිහින් තැන බලාගන්න... ඩ්‍රෝවිං ටිකත් රෙඩි වෙයි ඉක්මණටම... ආමි එකෙන් සයිට් එක ක්ලියර් කරල දුන්න ගමන් වැඩ පටන් ගන්න ඕනි... ඒකට ප්ලෑන් එකක් හදන්න... හදල මගෙත් එක්ක ඩිස්කස් කරන්න..."

ඔන්න මගෙ ඇපොයින්ට්මන්ට් එක.

ඉතින් කිව්ව විදියට මාත් ගියා සයිට් එක බලන්න. හැව්ලොක් පාර අයිනෙම තිබුණ පරණ පැවිලියන් එක කඩල එතන අලුතෙන් බාස්කට්බෝල් කෝට් එකක් එක්ක පැවිලියන් එකක් හදන්න තමයි තිබුණෙ. කෝට් එක ආමි එකෙන්. පැවිලියන් එක අපෙන්.

ඒක හදන අතරෙ එහා පැත්තෙ ලොකු ග්‍රවුන්ඩ් එකේ හැමදාම මොකක් හරි ඉස්කෝලෙක ස්පෝට්ස්මීට් එකක්. අවුරුද්දෙ පළවෙනි වාරෙ නිසා. කොළඹ ඉස්කෝල ගොඩකට තමන්ගෙම කියල පිට්ටනියක් නැති බව මම දැනගත්තෙ ඒකෙන් තමයි.

ආමි එකෙන් සයිට් එක ක්ලියර් කරල වල ගොඩැලි නැති වෙන්න අලුතෙන්ම පස් පුරවල දුන්නට පස්සෙ සයිට් එක මෙන්න මේ වගේ.
පිරවූ නැවුම් පස...

අයියෝ ඉතින් ආකිටෙක්ගෙ ඩිසයින් එකට ස්ට්‍රක්චරල් ඉංජිනියර් එයාගෙ ඩිසයින් එක කරල දුන්නම මට ඒක මෙතන හදන්නනෙ තියෙන්නෙ. හැබැයි වැඩේ ඒ තරම් සිම්පල් වගේ හිතුණෙ මට අත්දැකීම් නැති නිසා කියල තේරුම් ගන්න ඒ හැටි දවසක් ගියෙ නෑ.

වැඩට ඕනි කරන බඩු ගේන්න, ලේබර්ස්ලා හොයා ගන්න, උන්ට ඉන්න වෙනම තැන් හදල දෙන්න, බඩු ටික හොරුන්ගෙනුයි සයිට් එකේම වැඩ කරන උන්ගෙනුයි ආරක්ෂා කරගන්න, ප්‍රෝග්‍රෑම් එකට අනුව ප්‍රොග්‍රෙස් පෙන්නන්න, වැටේ කොලිටි එක අඩු නොවෙන්න වග බලා ගන්න, ඩිරෙක්ට් ලේබර්ස්ලගෙන් උපරිම අවුට්පුට් එක ගන්න, සබාල එක්ක කෝඩිනේට් කරල උන්ගෙන් වැඩ ටික කරගන්න, ආදී වශයෙන් මෙකී නොකී වැඩ කොච්චරක්ද.

ඒ මදිවට මට සුපවයිසර් කෙනෙකුත් නෑ, එස්කේ කෙනෙකුත් නෑ, සයිට් කියුඑස් කෙනෙකුත් නෑ, පෙටි කෑෂ් කරන්න කෙනෙකුත් නෑ, මොකෙක්වත් නෑ. අන්තිමට වැඩ බලන්නෙත් මම, බඩු ඉෂූ කරන්නෙත් මම, වැඩ වල රෙකෝඩ් තියා ගන්නෙත් මම, ලේබර් ඇටෙන්ඩන්ස් බලන්නෙත් මම, උන්ට ඩේලි එක්ස්පෙන්ස් වලට සල්ලි අරන් යන්නෙත් මම, හැමදාම හම්බ වෙච්ච ගානයි වියදම් වෙච්ච ගානයි බැලන්ස් කරන්නෙත් මම. කොටින්ම දේවාලයේ දෙයියොත් මම, කපුවත් මම, ආතුරයත් මමම තමයි.

ඔය අතරෙ එක එක ස්ටේජ් වලදි සයිට් එක තිබුණ හැටි තමයි මේ.
ස්ට්‍රිප් ෆුටින් එක දාන්න කැපුව හැටි...
අවුරුද්දට ගම්බිම් වල යන්න කලින් ස්ට්‍රිප් එක දාලයි ගියේ...
කොන්ක්‍රීට්...
තවත් කොන්ක්‍රීට්...
තව තවත් කොන්ක්‍රීට්...
තව තව තවත් කොන්ක්‍රීට්...
ඔය අස්සෙ පොඩි පොඩි වැරදි වුණාම ඒව හදන්නත් එපැයි...
කොහොම වුණත් වැඩ එකින් එක කෙරිල ඉවර වෙන කොට ෆයිනල් ප්‍රොඩක්ට් එක ග්‍රවුන්ඩ් එකේ ටිකින් ටික හැදෙන කොට හිතට පුදුම සතුටක් දැනෙනව. ඔය විදියට මගක් දුර කරගෙන ආවම පැවිලියන් එක මෙන්න මේ ‍වගේ ඔන්න.
දැන් නම් පැවිලියන් එකක ලුක් එකක් තියෙනව නේද...
වැඩේ ඉවරයක්ම කරල බාර දීල යන්න තරම් මට වාසනාවක් නැති වුණත් අදටත් ඉඳල හිටල හැව්ලොක් පාරෙන් යද්දි මෙන්න මේ වගේ පේන කොට අමුතුම හැඟීමක් දැනෙනව මට.
ඇත්තටම මේක මගෙ සයිට් එකක් වෙලා තිබුණ කියල හිතාගන්නත් බෑ... (ගත්තෙ මෙතනින්)
ආ... කියන්න අමතක වුණා. පහුගිය කාලෙ ආපු කොස්තාපල් පුඤ්ඤසෝම ෆිල්ම් එකේ අර අන්කල් කෙනෙක් කලිසම නැතුව යන සීන් එකක් තියෙන්නෙ බස් හෝල්ට් එකක් ගාව. අන්න ඒකෙ හොඳට පේනව මගෙ සයිට් එක. අපරාදෙ. ඒ කාල‍ෙ දන්නව නම් ෆිල්ම් එකක් එතන ෂූට් කරනව කියල මාත් මූණ ඔබා ගන්නව කොහොම හරි.

Thursday, October 2, 2014

පාවෙන කඩේ සහ කොළඹ කාක්කෝ

මම කාක්කෙක්. හැබැයි නිකම්ම කාක්කෙක් නෙවෙයි. කොළඹ කාක්කෙක් හරිය.

අපි ඉතින් අතනිනුයි මෙතනිනුයි හැම තැනින්ම අහුවෙන ජරාවක් කාල ජීවිතේ ගැට ගහගත්ත අහිංසක කාක්කොනෙ. මොකෝ කොළඹ කියල අපට සුපිරි කෑම ලැබෙන එකක්යැ.

ඒත් දැන් කොළඹ සෑහෙන්න වෙනස් වෙලානෙ. ජරාවට තිබුණ තැන් ගොඩක් දැන් ලස්සන වෙලා. ඉස්සර ව‍ගේ නෙවෙයි දැන් කොළඹ‍ට එන මිනිස්සුන්ට වුණත් බලන්න යන්න, විවේකයක් ගන්න, කන්න බොන්න කොච්චර තැන් තියෙනවද. ඕවයින් ඔය අන්තිමට කියපු තැන් තමයි අපට ගොඩක්ම වැදගත්. මොකද අපි ඉතින් මිනිස්සු කාල ඉතුරු වෙච්ච දෙයක් කාල ඉන්න කාක්කොනෙ.

ඉතින් කොළඹ අපට දැන් හොඳට කන්න අලුත්ම තැනක් ලැබිල තියෙනව. පිටකොටුවෙ ප‍ාවෙන කඩේ. මේ දවස් ටිකේ සෙට් එකත් එක්ක මම එතනම තමයි ඉන්නෙ. මොකද ඉතින් දවසකට දෙනෝදාහක් මිනිස්සු ගැවසෙන පිටකොටුවෙ හොඳට කෑමක්වත් කන්න කියල මිනිස්සුන්ට තියෙන තැන නිසා කොයි වෙලෙත් කෑම කන්න එන මිනිස්සුන්ගෙන් අඩුවක් නෑනෙ මෙතන.
මෙතන තමයි අපේ තැන...  (ගත්තෙ මෙතනින්)
හැබැයි ඉතින් මෙතන මිනිස්සුන්ට කාල ඉතුරු වෙන කෑම දාන්න වෙනම භාජනත් තියල හැම ගහකම බෝඩ් එකකුත් ගහල තියෙන්නෙ ඉතුරු වෙන ඒව ඒ භාජන වලටම දාන්න කියල. ඒව නිතර නිතර පිරිසිදු කරන්න අංකල්ල ඇන්ටිල කට්ටියකුත් වෙනම දාලයි තියෙන්නෙ.

කාල බීල ඉවර වෙච්ච කට්ටිය ඉතුරු වෙච්ච ඒව හරියටම ඒ භාජන වලටම දාල යන්න යනව. ඔන්න ඕකනෙ බැරි ඉතින්. එතකොට අපි කන්නෙ කොහොමද.

හැබැයි මේ ළඟදි දවසක මරු වැඩක් වුණා. හතර දෙනෙක්ගෙ පවුලක් ඇවිත් ෆ්‍රයිඩ් රයිස් හතරක්ම අරන් වාඩි වුණා අර ලස්සන රතු පාට හට් එකක් යට. අම්මයි පොඩි පුතයි අම්මගෙ අම්මයි තාත්තයි මගෙ හිතේ. මාත් ඉතින් සෙට් එකත් එක්ක එතනම එහා පැත්තට වෙලා හිටියෙ. කොහෙද අපි ළං වුණත් අර පිරිසිදු කරන ඇන්ටි කෙනෙක් කඩා පනිනවනෙ අපේ ඇඟටම.

ඒ වුණාට ඉතින් කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනව කියනවනෙ. ඒ කොහොම වෙතත් කපුටු අපේ වාරෙ නම් ආව ඉක්මණටම. අනිත් අය කොහොම කරත් අර කියපු පවුල නම් කාල ඉවර වෙච්ච ගමන් ඉතුරු කෑම ටික එහෙමම තියල නැගිටල යන්න ගියා.

අපට ඉතින් ආයෙ බුලත් දෙන්න ඕනයැ. අපි සෙට් එක පැනපු ගමන් වැඩේ දීගෙන ගියා. ඒ වගේ රහ කෑමක් දැක්කම ඉන්න තැනත් අමතක වෙනවනෙ කාට වුණත්. විනාඩියක් ගියෙ නෑ අපේ දැඟලිල්ලට මේසෙ උඩයි බංකු උඩයි බිමයි හැමතැනම ෆ්‍රයිඩ් රයිස් වැපිරෙන කෙ‍ාට අර ඇන්ටිම කඩා පැනල අපිව එලවල දැම්ම. අපි ටක් ගාල බෙල්ල බේරගෙන පැත්තකට වුණා. ඊට පස්සෙ ඇන්ටි අර පවුලෙ අයටත් බැන බැන එතන අස් කරනව මං බලාගෙන.

මම නම් ඉතින් ඒ පවුලට මුළු හදින්ම පින් දීල පොඩ්ඩක් වටපිට බලන කොට මෙන්‍න බොලේ දැකල පුරුදු මූණක් එ් ළඟම මේසෙක ගෑණු ළමයෙකුත් එක්ක කෑම කනව. අපොයි අර දෙයියන්ගෙ මොකද්ද කියල බ්ලොග් එකක් ලියන්නෙ මෙයා නේද. අනේ ඉතින් මේව බ්ලොග් වල දාන්න තරම් දේවල් නෙවෙයි දෙයියො හො‍ඳේ.

ප.ලි.
(1) දෙයියා ගිය සතියේ අත්දුටු ඇත්ත කතාවකි.
(2) "පාවෙන කඩේ" දෙයියගෙ වෙන්ට නෝනගෙන් ණයට ගත් යෙදුමකි.