Showing posts with label බඹා කෙටූ එක්කෙනා. Show all posts
Showing posts with label බඹා කෙටූ එක්කෙනා. Show all posts

Thursday, October 2, 2014

පාවෙන කඩේ සහ කොළඹ කාක්කෝ

මම කාක්කෙක්. හැබැයි නිකම්ම කාක්කෙක් නෙවෙයි. කොළඹ කාක්කෙක් හරිය.

අපි ඉතින් අතනිනුයි මෙතනිනුයි හැම තැනින්ම අහුවෙන ජරාවක් කාල ජීවිතේ ගැට ගහගත්ත අහිංසක කාක්කොනෙ. මොකෝ කොළඹ කියල අපට සුපිරි කෑම ලැබෙන එකක්යැ.

ඒත් දැන් කොළඹ සෑහෙන්න වෙනස් වෙලානෙ. ජරාවට තිබුණ තැන් ගොඩක් දැන් ලස්සන වෙලා. ඉස්සර ව‍ගේ නෙවෙයි දැන් කොළඹ‍ට එන මිනිස්සුන්ට වුණත් බලන්න යන්න, විවේකයක් ගන්න, කන්න බොන්න කොච්චර තැන් තියෙනවද. ඕවයින් ඔය අන්තිමට කියපු තැන් තමයි අපට ගොඩක්ම වැදගත්. මොකද අපි ඉතින් මිනිස්සු කාල ඉතුරු වෙච්ච දෙයක් කාල ඉන්න කාක්කොනෙ.

ඉතින් කොළඹ අපට දැන් හොඳට කන්න අලුත්ම තැනක් ලැබිල තියෙනව. පිටකොටුවෙ ප‍ාවෙන කඩේ. මේ දවස් ටිකේ සෙට් එකත් එක්ක මම එතනම තමයි ඉන්නෙ. මොකද ඉතින් දවසකට දෙනෝදාහක් මිනිස්සු ගැවසෙන පිටකොටුවෙ හොඳට කෑමක්වත් කන්න කියල මිනිස්සුන්ට තියෙන තැන නිසා කොයි වෙලෙත් කෑම කන්න එන මිනිස්සුන්ගෙන් අඩුවක් නෑනෙ මෙතන.
මෙතන තමයි අපේ තැන...  (ගත්තෙ මෙතනින්)
හැබැයි ඉතින් මෙතන මිනිස්සුන්ට කාල ඉතුරු වෙන කෑම දාන්න වෙනම භාජනත් තියල හැම ගහකම බෝඩ් එකකුත් ගහල තියෙන්නෙ ඉතුරු වෙන ඒව ඒ භාජන වලටම දාන්න කියල. ඒව නිතර නිතර පිරිසිදු කරන්න අංකල්ල ඇන්ටිල කට්ටියකුත් වෙනම දාලයි තියෙන්නෙ.

කාල බීල ඉවර වෙච්ච කට්ටිය ඉතුරු වෙච්ච ඒව හරියටම ඒ භාජන වලටම දාල යන්න යනව. ඔන්න ඕකනෙ බැරි ඉතින්. එතකොට අපි කන්නෙ කොහොමද.

හැබැයි මේ ළඟදි දවසක මරු වැඩක් වුණා. හතර දෙනෙක්ගෙ පවුලක් ඇවිත් ෆ්‍රයිඩ් රයිස් හතරක්ම අරන් වාඩි වුණා අර ලස්සන රතු පාට හට් එකක් යට. අම්මයි පොඩි පුතයි අම්මගෙ අම්මයි තාත්තයි මගෙ හිතේ. මාත් ඉතින් සෙට් එකත් එක්ක එතනම එහා පැත්තට වෙලා හිටියෙ. කොහෙද අපි ළං වුණත් අර පිරිසිදු කරන ඇන්ටි කෙනෙක් කඩා පනිනවනෙ අපේ ඇඟටම.

ඒ වුණාට ඉතින් කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනව කියනවනෙ. ඒ කොහොම වෙතත් කපුටු අපේ වාරෙ නම් ආව ඉක්මණටම. අනිත් අය කොහොම කරත් අර කියපු පවුල නම් කාල ඉවර වෙච්ච ගමන් ඉතුරු කෑම ටික එහෙමම තියල නැගිටල යන්න ගියා.

අපට ඉතින් ආයෙ බුලත් දෙන්න ඕනයැ. අපි සෙට් එක පැනපු ගමන් වැඩේ දීගෙන ගියා. ඒ වගේ රහ කෑමක් දැක්කම ඉන්න තැනත් අමතක වෙනවනෙ කාට වුණත්. විනාඩියක් ගියෙ නෑ අපේ දැඟලිල්ලට මේසෙ උඩයි බංකු උඩයි බිමයි හැමතැනම ෆ්‍රයිඩ් රයිස් වැපිරෙන කෙ‍ාට අර ඇන්ටිම කඩා පැනල අපිව එලවල දැම්ම. අපි ටක් ගාල බෙල්ල බේරගෙන පැත්තකට වුණා. ඊට පස්සෙ ඇන්ටි අර පවුලෙ අයටත් බැන බැන එතන අස් කරනව මං බලාගෙන.

මම නම් ඉතින් ඒ පවුලට මුළු හදින්ම පින් දීල පොඩ්ඩක් වටපිට බලන කොට මෙන්‍න බොලේ දැකල පුරුදු මූණක් එ් ළඟම මේසෙක ගෑණු ළමයෙකුත් එක්ක කෑම කනව. අපොයි අර දෙයියන්ගෙ මොකද්ද කියල බ්ලොග් එකක් ලියන්නෙ මෙයා නේද. අනේ ඉතින් මේව බ්ලොග් වල දාන්න තරම් දේවල් නෙවෙයි දෙයියො හො‍ඳේ.

ප.ලි.
(1) දෙයියා ගිය සතියේ අත්දුටු ඇත්ත කතාවකි.
(2) "පාවෙන කඩේ" දෙයියගෙ වෙන්ට නෝනගෙන් ණයට ගත් යෙදුමකි.

Thursday, June 12, 2014

එකෙක් හංසයෙක් - අනිත් උන් තාරාවො

ළඟදි දවසක දෙයිය දෙහිවල සත්තු වත්ත බලන්න ගියානෙ වෙන්ට-නෝනත් එක්ක. "සත්තු වත්ත" කිව්වට හරිම වචනෙ "සතුන් වත්ත" ලු. කොහොම හරි ඉතින් එතනදි දැක්ක දෙයක් ගැන තමයි අද කතාව.

සතුන් වත්තෙ එක් තැනක තියෙන පොකුණක් ළඟ "සුදු හංසයා" කියල බෝඩ් එකක් ගහල තියෙනව. අනිත් ගොඩක් කූඩු වල වගේම මෙතනත් ඉන්නෙ එක සතයි. තමන්ගෙ ස්වාභාවික පරිසරයෙන් ඈත් කරල කූඩු වල දාල ඉන්න සතුන්ට අඩුම ගානෙ තමන්ගෙ ජාතියෙ තව එක සතෙක් හරි හිටිය නම් තනිකම පාලුව වත් නැති වෙයි කියල හිතුණ. ඒ වගේම ඉස්සර නම් ගොඩක් සතුන් ‍ජෝඩු වශයෙන් හිටියත් අද වෙන කොට ගොඩක් උන්ට තනි වෙන්න වෙලා තියෙන්නෙ පහුගිය කාලෙම දිගටම සතුන් ගොඩක් මැරුණ නිසා කියලත් කතාවක් තියෙනව. කොහොම වුණත් අර පොකුණෙ තනියම පීන පීන ඉන්න හංසයව දැක්කම නම් ගොඩක්ම දුක හිතුණ.
තනි හංසයා... ගත්තෙ මෙතනින්...
ඒත් ඇත්තටම හංසය ඒ පොකුණෙ ඉන්නෙ තනියමමත් නෙවෙයි. උගෙ තනියටද මන්ද තාරාවො රංචුවක්ම දාල ඉන්නව ඒ පොකුණට. ඒ වුණාට ඉතින් තමන්ට වඩා වෙනස් පිරිසක් මැද තනියම ඉන්න වෙන එක මොකෙක්වත් නැතුව ඉන්නවටත් වැඩිය දරුණුයිද මන්ද. අපටත් සමාජයේ ඉන්න කොට ඔය වගේ අත්දැකීම් ලැබිල තියෙනවනෙ.
හංස විලේ තාරාවෝ... ගත්තෙ මෙතනින්...
ඔන්න ඉතින් අපි බලන් ඉන්න කොට එතන වැඩ කරන කෙනෙක් ආව උන්ට කෑම දෙන්න. හංසය ඉන්න තැනින් එක බේසමක් තියල අර තාරාවො රංචුවටම එච්චර විතර තව බේසමක් තියල ගියා. ඒකෙ තිබුණෙ මොනවද කියල ළඟටම දැක්කෙ නැති වුණත් පාන් වගේ මොනව හරි කෑලි කෑලි මොනව හරි දියරයක දාල තමයි තිබුණෙ. වතුරද මන්ද.

කෑම තිබ්බට පස්සෙ තමයි දැක්කෙ අර රංචුවෙන් වෙන් වෙලා තනියම ඉන්න එක තාරාවෙක් ඉන්නව. මොකක් හරි හේතුවක් ඇති ඒකට. උෟ අර රංචුවට දීපු කෑම එක ගාවට යන්නෙ නෑ. ඌ කරන්නෙ අර හංසයට දීපු කෑම එකට ළං වෙලා ඒකෙන් කන එක. ඉතින් හංසය පැත්තකින් හොට දානව තාරාව තව පැත්තකින් හොට දානව. ටිකකින් තාරාව හංසයට කොටනව. එතකොට හංසය ඈත් වෙලා ටිකකින් ආයෙ හොට දානව. ආයෙ ටිකකින් අරූ කොටනව. ඔහොම දෙතුන් පාරක් වෙන කොට හංසය එතනින් ඈත් වෙලා වෙන පැත්තකට පීනල යනව. ඒත් බඩගින්න නිසා ටිකකින් ආයෙ එනව. ආයෙ ඔය රවුම යනව ඉතින්. මට නම් තරහයි දුකයි දෙකම අරූ කොටන එකටයි හංසය එතනින් ඈත් වෙලා යන එකටයි.

ටිකකින් ඒ තාරාව එතනින් අයින් වෙලා ගියා. ඇති යාන්තම් දැන්වත් හංසයට කන්න පුලුවන්නෙ නිදහසේ. මොන පිස්සුද. මෙන්න ඒ තාරාව ගියා විතරයි අතන එක බේසමේ කකා හිටපු තාරාවො තුන් දෙනෙක්ම පෝලිමට එනව හංසයගෙ බේසමට. උනුත් එකා දෙන්න ළං වෙලා ඒකෙන් කනව. හිටි ගමන් හංසයට කොටනව. එතකොට ඌ ඈත් වෙලා යනව. ආයෙ එනව. ආයෙත් මට තරහ යනව. දුක හිතෙනව.

ඔය ඔක්කොම අස්සෙ වටේ පිටේ ඉන්න කාක්කො ටික නම් කිසි ප්‍රශ්නයක් නැතුව සැරින් සැරේ ඇවිත් අර බේසමෙන් කෑම කෑලි උස්සන් යනව. උන්ගෙත් ලොකු රංචුවක්. උන් කෑලි උස්සන් ගියාම අරුන්ට වතුර විතරයි ඉතුරු වෙන්නෙ බේසමේ.

අපි කෑම කෑවෙත් එතන එහා පැත්තෙ වාඩි වෙලා මේක දිහා බලාගෙන. ඒක බලන් ඉඳල වෙන්ට-නෝනගෙන් බේරිල්ලක් නෑ මට.

"අනේ පව් අර හංසය"
"උට කන්ඩම දෙන්නෑනෙ මුන්"
"මුන්ට පිස්සුද මන්ද කන්ඩ දෙන්න තේරෙන්නෙ නෑනෙ සත්තුන්ට" 
"අනේ අර තාරාවොන්ට දෙකක් දෙන්ඩ ඕනි අර හංසයට කොටනවට"

ඉතින් දෙයියනේ මං මොනව කරන්නද. අන්තිමට හංසයට විතරක් තනියම බේසම ඉතුරු කරල අනිත් උන් ගිහින්. ඌ පුදුම බඩගින්නකින් බේසමට හොට ඔබාගෙන කාගෙන කාගෙන යනව. ඒ වුණාට කෑම නෑ එතකොට වතුර තමයි ඉතුරු.

මම එදා ගෙදර ඇවිල්ලත් කල්පනා කරේ අපේ සමාජයෙත් කොච්චර මේ වගේ දේවල් වෙනවද කියල.

අපරාදෙ ෆොටෝ එකක් ගන්න බැරි වුණානෙ මේකෙ දාන්න.

Sunday, March 16, 2014

ආදරයට වසරක් පිරුණා...

එයා ගැන ලියන බව කියල නම් දැන් ගොඩක් කල්. තාම ලියා ගන්න බැරි උනත් මේ වෙලාව තරම් ඒකට හොඳ වෙලාවක් තවත් නැතුව ඇති. ඒකට හේතුව තමයි අපේ ආදරයට වසරක් පිරෙන එක. ඔව්. හරියටම කිව්වොත් හෙට තමයි අපේ ආදරයේ පළවෙනි සංවත්සරය. ඉතින් එයා ගැන නොලියා කොහොමද.

ඇත්තටම අපේ ආදරේ බොහොම කෙටි කාලයක් තුළ බොහොම ඉක්මණින් ලියලා දලු ලා වැඩුණා කිව්වොත් නිවැරදියි. මුල්ම හමු වීම, SMS, පැය ගණන් මල් කැඩිලි, සති අන්ත හමුවීම්, ගෙවල් වලට කීම, ගෙවල් වලින් ආපු ප්‍රශ්න, ඒව ටික ටික විසඳ ගැනීම, එයා බලන්න ගෙදර අයත් එක්ක යාම, එයාගෙ ගෙදර අය අපේ ගෙදර ඒම, මේ ඔක්කොම ඉවර වෙලා දැන් ඉතින් දින නියම කරගන්න තැනටත් ඇවිත් තියෙන්නෙ.

"ගල් පර දැක පෙරමුණේ - මොන නදියද නැවතුණේ" කියන්නා වාගේ මොන බාධක ආවත් නොසැලුණු අපේ ආදරයේ පළමු වසර සැමරීම වෙනුවෙන්, සුදූ, මේක ඔයාටමයි ලිව්වේ.

ගැහෙන හදින් හමු වී අප
පිරුණු සිතින් සමු ගෙන ගිය
පළමු දිනය සිහි වේ අද වාගේ

අත් පටලා ඇවිදන් ගිය
නෙත් පටලා මිහිර වින්ද
මතක සපිරි පෙම අප දෙදෙනාගේ

අල්ලා ගත් අත කිසිදා
අත නොහරිමි යයි පෙරදා
පොරොන්දු වූ පරිදිම එක වාගේ

බලා සිටිමි දින ගනිමින්
අතැඟිලි බැඳ සුබ නැකතින්
කැන්දා ගෙන යන්නට නුඹ දීගේ


Sunday, June 9, 2013

ආදරණීය ඉරිදා


ආදරණීය ඉරිදා... (ගත්තෙ මෙතනින්)

"මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න..." එම්. එස්. ප්‍රනාන්දු ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

ඉහත ප්‍රාර්ථනය කොතරම් කළත් සෑම සතියකම ඉන් පෙර සතියට වඩා ගොඩක් වෙනස් නොවූ ඉරිදා යනු මා කොහොමටත් ආශා කළ දවසක් නොවේ. කුඩාම කාලයේ ගත වූ ඉරිදාවන් ගැන එතරම් මතකයක් නැතත් හතර-පහ ශ්‍රේණිවල පටන් ඉරිදාවන් ගැන මා හට දැනී ඇත්තේ අන් දිනයන්ට වඩා වෙනස් ලෙසිනි. ඒ කාලයේ ගමේ සිට නගරයට ශිෂ්‍යත්ව පන්ති සඳහා පැමිණියේ ඉරිදාටය. ඒ පන්තියේත් පාසලේත් පිහිටෙන් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ බැවින් කොළඹ පාසලකට එන්නට වරම් ලැබුණි. එදා පටන් ඉරිදාවන් ගැන ඇති අප්‍රසාදය තවත් වැඩි වූවා පමණි.

පාසලේ නේවාසිකාගාරයේ සතියක් ගත කර සිකුරාදා සවසට ගෙදර එන මා නැවත යන්නේ සඳුදා උදෑසනය. ගෙදර එන විට බස් රියට හැකි තාක් වේගයෙන් යාමට හැකි වේවායි සිතින් අයදින මා නැවත යන විට අයදින්නේ හැකි අඩුම වේගයෙන් යන ලෙසය. කෙසේ හෝ වේවා සිකුරාදා රාත්‍රියේ නිවසට පැමිණ සෙනසුරාදා දවස සතුටින් ගත කරන මා ඉරිදා දවසේ උදාවත් සමග පත් වන්නේ අමුතුම මානසික තත්ත්වයකටය. ඊට හේතු වන්නේ පසුදින හිමිදිරියේම යළිත් පාසල බලා යා යුතු වීමය. මේ හේතුව නිසා ඒ කාලයේ පටන්ම මා හට ඉරිදා දවස් වලදී කිසිදු ප්‍රයෝජනවත් වැඩක් කර ගත නොහැකි වූවාට අමතරව මානසික පීඩනයකින් ගත කිරීමටද සිදු විය.

සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළට පිවිසීමත් සමග මේ ජීවන රටාව තරමක් වෙනස් වූයේ පදිංචිය වෙනස් වීම නිසා නිවසේ සිටම පාසල් යාමට පටන් ගැනීමත් සමගය. මේ කාලයේ නම් වෙනසක් කිව නොහැකි තරමට සෑම දවසක්ම කාර්ය බහුල විය. කෙසේ වෙතත් ඉරිදා සවස් වරුවේ ගම්පහ සමාධි ආයතනයේ පැවති කේසිරි විතානගේ ගුරුතුමන්ගේ රසායන විද්‍යාව පන්තිය නිසා ඉරිදාවන්ට මා ආශා කරන්නට පෙළඹුණා යැයි කිවහොත් එය බොරුවක් නොවේ.

ඉන්පසු එළඹියේ විශ්වවිද්‍යාල සමයයි. කුඩා කල මෙන්ම යළිත් වරක් ඉරිදාවන් අප්‍රිය කරන්නට මා පෙළඹුණේ මේ කාලයේදීය. මුල් කාලයේ බෝඩිමේද අවසන් වසරේ නේවාසිකාගාරයේද ගත කළ මා හැකි සෑම විටකම නිවසට ඒමේ ආශාවෙන් පෙළුණු බැවින් එසේ පැමිණ නිවසේ ගත කරන කෙටි කාලයේ නිමාව සනිටුහන් කරන ඉරිදා මට සැබැවින්ම පෙන්නන්නට බැරි දවසක් විය.

රැකියාවට ගිය පසු නම් ඉරිදා මට යළිත් ඕනෑ විය. ඒ අන් කවරක් නිසාවත් නොව මාගේ රැකියාවේ ස්වභාවය අනුව නිවාඩු දවස් ඉතා සීමිත වූ බැවිනි. මා මෙතෙක් කළ රැකියා දෙකෙහිදීම ඇතැම් සෙනසුරාදා දිනවල වැඩ කිරීමට සිදු විය. වැඩ වැඩි වූ විට ඉරිදාත් වැඩ කළ අවස්ථා තිබුණි. කෙසේ වෙතත් මේ කාලය තුළ බොහෝ විට නිවසට වී විවේකයෙන් ගත කිරීමට ලැබුණු එකම දිනය වූයේ ඉරිදාවකි.

එහෙත් කලකට පෙර ඉරිදාවන් පිළිබඳ පැවති අප්‍රසාදය තුරන් වී ටික කලක සිට ඉරිදා යනු මාගේ ජීවිතයේ ප්‍රියතම දවස බවට පත් වී ඇත. ඒ ඈ හමු වූ පසුවය. ඈ මුල් වරට හමු වූයේද ඉරිදාවකය. එදා පටන් ගත වූ කෙටි කාලය තුළ බොහෝ ඉරිදාවන් ගත වූයේ ඈ සමගය. කොළඹට පය තබා අවුරුදු පහළොවකට පසු එතෙක් ඇවිද නොගිය මාවත් වල අත් පටලා ඇවිද යමි; එතෙක් දැක නොතිබුණු සුන්දර ස්ථාන වල නෙතින් නෙත බලා පැය ගණන් ගත කරමි; එතෙක් අත් නොවිඳි ආදරයක මිහිර රිසි සේ විඳ ගනිමි.

"අද වේ ඉරු දින... ඇය හමු වේවිද..." අනිල් භාරතී ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

Sunday, May 19, 2013

කවිකාරි

කලින් පෝස්ටුව අවසන් වූයේ එයා ගෙන් අනුමත කර ගැනීමක් ගැන සඳහන් කරමිනි. වැඩිදුරටත් එහි කියා තිබුණේ එයා ගැන වෙනම ලියන බවය. කෙසේ වුවත් එක් වරම එයා ගැන ලියන්නේ කෙසේදැයි සිතමින් ලත වෙමින් සිටියදී එයා අපූරු පද පෙළක් එවා තිබුණි. එයා ගේ එම හැකියාව ගැන හරියටම දැන ගත්තේද එය කියවීමෙනි. අවශ්‍ය අවසරයත් ලැබුණු බැවින් ආරම්භයක් හැටියට එය මෙසේ පළ කිරීමට හැකි විය.
ලියූ කවි පද දහක් අතරේ... (ගත්තෙ මෙතනින්)
දුර ඈත වසන්තය
නොපෙනෙනා කල්හි මට
නුඹ ඉතින් තව ඈත
දුර ගිහින් ගව් ගණන්
නිදි නොමැති දෙනෙත් අග
නූපුන් දසුන් මත
තවත් මම බලා ඉමි
එන තුරා මගෙ ළඟට
නිමා කර ගිම්හානය


කවියවියෙන් පිළිතුරු දීමට සිතා ලියූ පහත පද පෙළ නම් කෙේවත් එයට ළඟින්වත් තැබිය හැක්කක් නො යැයි සිේ.

හිරු සේම නැගී උන්නාය පෙර මග බලා
සඳවතිය කොහේ සිට පැමිණේවිදෝ සිතා
තරු පමණි සඳ නොමැති
අහස් කුස දැල්වුණේ
ජීවිතය අන් තැනක
කියා සිත ළතැවුණේ
කොහේදෝ පාවෙලා අහම්බෙන් හමුවෙලා
නෙතින් සවනින් සිතට නොදැනීම ළං වෙලා
සිනා මල් රැගෙන විත්
අඳුර බින්දේ නුඹයි
සදා හැර නොයන්නට
නැවතුණේ නුඹ ළඟයි
සඳේ මම නුඹ ළඟයි
සදා කල් නුඹ ළඟයි


ඊට පිළිතුරු ලැබුණේ හැරෙන තැපෑලෙනි.

පූරණය කළ පාරමී බල
ගෙවූ දිගු ගමනේ
ප්‍රභාවත් කළ දයා දිගු නෙත
වසන් කළ කඳුළේ
දිනූ මද මුදු පැතුම් අපමණ
විරාගික ගමනේ
සුභාවිත පෙම් කතා පුවතක්
සුපින්බර සසරේ
නිරාමිස සුව ලබා ගෙන මිස
නොනවතින සටනේ

කවි ලිවීම අමාරු වැඩක් වුවත් කවි කියවීම කම්මැලි වැඩක්දැයි හරියටම ොදන්නා බැවින් වැඩිදුර ොලියා ඒ ගැන ඔේ අදහස් බලාොත්තුවෙන් සිටින බව කණාවෙන් සලකන්න.