Sunday, June 9, 2013

ආදරණීය ඉරිදා


ආදරණීය ඉරිදා... (ගත්තෙ මෙතනින්)

"මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න..." එම්. එස්. ප්‍රනාන්දු ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

ඉහත ප්‍රාර්ථනය කොතරම් කළත් සෑම සතියකම ඉන් පෙර සතියට වඩා ගොඩක් වෙනස් නොවූ ඉරිදා යනු මා කොහොමටත් ආශා කළ දවසක් නොවේ. කුඩාම කාලයේ ගත වූ ඉරිදාවන් ගැන එතරම් මතකයක් නැතත් හතර-පහ ශ්‍රේණිවල පටන් ඉරිදාවන් ගැන මා හට දැනී ඇත්තේ අන් දිනයන්ට වඩා වෙනස් ලෙසිනි. ඒ කාලයේ ගමේ සිට නගරයට ශිෂ්‍යත්ව පන්ති සඳහා පැමිණියේ ඉරිදාටය. ඒ පන්තියේත් පාසලේත් පිහිටෙන් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වූ බැවින් කොළඹ පාසලකට එන්නට වරම් ලැබුණි. එදා පටන් ඉරිදාවන් ගැන ඇති අප්‍රසාදය තවත් වැඩි වූවා පමණි.

පාසලේ නේවාසිකාගාරයේ සතියක් ගත කර සිකුරාදා සවසට ගෙදර එන මා නැවත යන්නේ සඳුදා උදෑසනය. ගෙදර එන විට බස් රියට හැකි තාක් වේගයෙන් යාමට හැකි වේවායි සිතින් අයදින මා නැවත යන විට අයදින්නේ හැකි අඩුම වේගයෙන් යන ලෙසය. කෙසේ හෝ වේවා සිකුරාදා රාත්‍රියේ නිවසට පැමිණ සෙනසුරාදා දවස සතුටින් ගත කරන මා ඉරිදා දවසේ උදාවත් සමග පත් වන්නේ අමුතුම මානසික තත්ත්වයකටය. ඊට හේතු වන්නේ පසුදින හිමිදිරියේම යළිත් පාසල බලා යා යුතු වීමය. මේ හේතුව නිසා ඒ කාලයේ පටන්ම මා හට ඉරිදා දවස් වලදී කිසිදු ප්‍රයෝජනවත් වැඩක් කර ගත නොහැකි වූවාට අමතරව මානසික පීඩනයකින් ගත කිරීමටද සිදු විය.

සාමාන්‍ය පෙළ අවසන් කර උසස් පෙළට පිවිසීමත් සමග මේ ජීවන රටාව තරමක් වෙනස් වූයේ පදිංචිය වෙනස් වීම නිසා නිවසේ සිටම පාසල් යාමට පටන් ගැනීමත් සමගය. මේ කාලයේ නම් වෙනසක් කිව නොහැකි තරමට සෑම දවසක්ම කාර්ය බහුල විය. කෙසේ වෙතත් ඉරිදා සවස් වරුවේ ගම්පහ සමාධි ආයතනයේ පැවති කේසිරි විතානගේ ගුරුතුමන්ගේ රසායන විද්‍යාව පන්තිය නිසා ඉරිදාවන්ට මා ආශා කරන්නට පෙළඹුණා යැයි කිවහොත් එය බොරුවක් නොවේ.

ඉන්පසු එළඹියේ විශ්වවිද්‍යාල සමයයි. කුඩා කල මෙන්ම යළිත් වරක් ඉරිදාවන් අප්‍රිය කරන්නට මා පෙළඹුණේ මේ කාලයේදීය. මුල් කාලයේ බෝඩිමේද අවසන් වසරේ නේවාසිකාගාරයේද ගත කළ මා හැකි සෑම විටකම නිවසට ඒමේ ආශාවෙන් පෙළුණු බැවින් එසේ පැමිණ නිවසේ ගත කරන කෙටි කාලයේ නිමාව සනිටුහන් කරන ඉරිදා මට සැබැවින්ම පෙන්නන්නට බැරි දවසක් විය.

රැකියාවට ගිය පසු නම් ඉරිදා මට යළිත් ඕනෑ විය. ඒ අන් කවරක් නිසාවත් නොව මාගේ රැකියාවේ ස්වභාවය අනුව නිවාඩු දවස් ඉතා සීමිත වූ බැවිනි. මා මෙතෙක් කළ රැකියා දෙකෙහිදීම ඇතැම් සෙනසුරාදා දිනවල වැඩ කිරීමට සිදු විය. වැඩ වැඩි වූ විට ඉරිදාත් වැඩ කළ අවස්ථා තිබුණි. කෙසේ වෙතත් මේ කාලය තුළ බොහෝ විට නිවසට වී විවේකයෙන් ගත කිරීමට ලැබුණු එකම දිනය වූයේ ඉරිදාවකි.

එහෙත් කලකට පෙර ඉරිදාවන් පිළිබඳ පැවති අප්‍රසාදය තුරන් වී ටික කලක සිට ඉරිදා යනු මාගේ ජීවිතයේ ප්‍රියතම දවස බවට පත් වී ඇත. ඒ ඈ හමු වූ පසුවය. ඈ මුල් වරට හමු වූයේද ඉරිදාවකය. එදා පටන් ගත වූ කෙටි කාලය තුළ බොහෝ ඉරිදාවන් ගත වූයේ ඈ සමගය. කොළඹට පය තබා අවුරුදු පහළොවකට පසු එතෙක් ඇවිද නොගිය මාවත් වල අත් පටලා ඇවිද යමි; එතෙක් දැක නොතිබුණු සුන්දර ස්ථාන වල නෙතින් නෙත බලා පැය ගණන් ගත කරමි; එතෙක් අත් නොවිඳි ආදරයක මිහිර රිසි සේ විඳ ගනිමි.

"අද වේ ඉරු දින... ඇය හමු වේවිද..." අනිල් භාරතී ගායකයාණන්ගේ ගී හඬ ඈතින් ඇසෙයි.

4 comments:

  1. මේක කියෙව්වම මටත් ඉරිදා දවසේ විශේෂයක් තියනව කියල මතක් උනා.මමත් ලංකාවේ දුර පළාත් වල වැඩ කරනකොට ඉරිදා විශේෂයි.මගේ කතාවත් ටිකක් ඔයිට සමානයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමෙන්ටුවට... ඉතින් අපිත් එක්ක බෙදා ගන්න කැමති නැද්ද ඒ කතාව :)

      Delete
    2. තව ඔහොම ටිකක් යමුකෝ ...;)

      Delete