Sunday, April 20, 2014

තායි ගමන

හා හා පුරා කියා රට යන්න හම්බ වුණේ දැන් වැඩ කරන තැනින් පුහුණු වැඩසටහනකට යාමට ලැබුණු අවස්ථාවක් හේතුවෙනි. යන්නට ලැබුණේ තායිලන්තයට හා සිංගප්පූරුවටය. ඒ වුණාට වැඩිම කාලයක් ගත කළේ තායිලන්තයේ නිසාත් බොහෝ දෙනකු සිතන විදියට නැතුව සිංගප්පූරුවට වඩා තායිලන්තය හොඳටම හිතට අල්ලලා ගිය නිසාත් ලියන්නට යන්නේ තායිලන්තය ගැන විතරය.

රට යන්නට පෙර දාහක් ප්‍රශ්න තිබුණි. පාස්පෝට් හැදිය යුතුය. අලුත් ඇඳුම් ගත යුතුය. රට යන දවසට කළින් දවසේ විභාගයකි. එපමණක් නොව පළවෙනි වතාව බැවින් චුට්ටක් විතර බයක්ද ඇති වී තිබුණි. මේ ඔක්කොමත් හරිය. සති දෙකකට රට යනවා යැයි කී දවසේ සිට එයා  බුම්මා ගත් ගමන්ය. මූණ එල්ලා ගත් ගමන්ය. ඒ තරහකට නොවන බව හොඳාකාරව දැන උන්නෙමි. ඒ වුණත් හිතට දුක ඇති. ගොඩක් දුක ඇති. මට එසේ සිතුණි. ඒ තුළින් ආදරය තව තවත් වැඩි වුණි.

කොහොම හරි සියල්ල ලෑස්ති කර ගෙන මැනේජ් කර ගෙන ෂේප් කර ගෙන ගමන යන්නට පිටත් වුණෙමි. බයකට කියා දැනුණේ ප්ලේන් එක නග්ගන විටත් අතරමගදී ටර්බියුලන්ස් වලට අහු වන විටත් යළි බස්සන විටත් ගැස්සීම් ඇති වන අවස්ථා වලදී පමණකි. ඔයින් මෙයින් අතුරු ආන්තරාවක් නැතුව අපි තායිලන්තයට ගොඩ බැස්සෙමු. ඒ වුණත් පළවෙනි දවසම නිකම් තෝන්තුවෙන් වාගේ ගත වුණේ පෙරදා රාත්‍රියේ පටන් හරිහමන් නින්දකුත් නැතුව ගමනේම යෙදුණු නිසා විය යුතුය.
ගමනට එක් වූ කට්ටිය බැංකොක් ස්වර්ණභූමි ගුවන්තොටුපළේදී...
ඒ කෙසේ වුවත් ඊළඟ දිනයේ පුහුණු වැඩසටහන පටන් ගැනීමත් සමග තත්වය යහපත් වුණේය. මෙහෙන් යද්දී තායිලන්තයේ නම් කන්න බොන්නවත් හරියට නෑ කියා කට්ටිය බය කර තිබුණත් ලංකාවේදී කනවාටත් වඩා හොඳට සියලු දෙනා ඒ කාලය තුළ කාපු බීපු හැටි නම් හොඳටම මතකය. තායි කෑම ගන්නට එකම අපහසුව තිබුණේ ඒවාට යොදන ඇතැම් කුළුබඩු වර්ග වල සුවඳ අපට එතරම් අල්ලන්නේ නැති වීමය. ඒ වුණත් බත් අඩුවෙන් එළවළු වැඩියෙන්, තෙලෙන් බැදීම අඩුවෙන් නැවුම් බව වැඩියෙන්, සීනි-පැණි අඩුවෙන් පළතුරු වැඩියෙන්, ඒ මිනිස්සු කන කෑම නම් සෞඛ්‍යයට ඉතාම හිතකර බව අවිවාදයෙන් පිළිගන්නට සියලු දෙනාට සිදු විය.
ඔන්න තායි මිනිස්සු කන කෑම ඉතින් හොඳ නැද්ද බලන්නකො...
එළවළුත් ගොඩයි...
පළතුරුත් ගොඩයි...
ඒ වාගේම සඳහන් කළ යුත්තේ ඒ රටේ මිනිස්සු ගැනය. කොයි වෙලෙත් හිනා වී ගෙනම සිටින, හරිම සුහදශීලී, ආගන්තුක සත්කාරයට ඉතාම ලැදි, සෞඛ්‍ය සම්පන්න, නිතරම අලුත් වෙන්න කැමති ඒ වගේ ජනතාවක් ඕනෑම රටකට ආඩම්බරයක් වගේම වටිනා සම්පතකි. මෙච්චරම අනික් රට වල මිනිස්සු තායිලන්තයේ ෂොපින් යන්නත් එය එක් හේතුවක් වෙන්න ඕනෑය. අඩුවකට ඇත්තේ ඉංග්‍රීසි භාෂාව බැරිකම විතරක්මය. එක සැරයක් ඒ ගැන අහපුවාම ලැබුණු පිළිතුරත් අපූරුය. එහේ ඉංග්‍රීසි උගන්නන්න හෝ ඉගෙන ගන්න එච්චර උනන්දුවක් නැත්තෙ එයාලට ඉංග්‍රීසි එච්චරම ඕනි වෙන්නෙ නැති නිසාලු !
මගෙන් බඩු ගත්තෙ නැතත් කමක්නෑ පොටෝ එකට ලස්සනට ඉන්න එපැයි...
ඒ වුණත් ඉංග්‍රීසි නැතුවත් තායිලන්තය ලබා ගෙන තියෙන දියුණුව ගැන වෙලාවකට පුදුමය. රටේ තියෙන සංචාරක ආකර්ෂණයන් ඉතාම හොඳින් මාකට් කළත් තායිලන්තය සංචාරක ව්‍යාපාරය මතම නොයැපෙන බවට උදාහරණ නම් බොහෝය. එක් අතකින් මිලියන 66කට කන්නත් සහල් නිපදවා ලොව වැඩියෙන්ම සහල් අපනයනය කරන රට බවටත් දෙවෙනියට වැඩිම සීනි අපනයනය කරන රට බවටත් තායිලන්තය පත්ව ඇති අතර අනික් අතින් ටොයෝටා, නිසාන්, ඉසුසු, හොන්ඩා වැනි ලොව පතල රථ වාහන නිෂ්පාදකයන් බොහොමයක් තායිලන්තය තුළ මෝටර් රථ නිෂ්පාදනය සිදු කරයි. 

තායිලන්තයේම හදන ඉසුසු කැබ්...
බලන්න ගිය ලස්සන තැන් ගැන, සුන්දර අත්දැකීම් ගැන වෙනමම ලියන්න ඕනෑය. බැංකොක්, පතායා, ඇල්කසාර් ෂෝ, කොරල් අයිලන්ඩ්, නොන්ග් නූච් ගාඩ්න්, ග්‍රෑන්ඩ් පැලස්, ප්‍රතුනාම්, චාඕ ප්‍රායා කෘෘස්, ස්කයිට්‍රේන්, ටනල් ට්‍රේන්, මේ ආදී දහසක් දේවල් එක පෝස්ට් එකකින් නම් කියන්නම බැරිය. කොහොම වුණත් තායිලන්ත ගමන නම් ජීවිතේට අමතකම නොවන අත්දැකීමක් වුණේය. ටිකක් සමාන ටිකක් වෙනස් සංස්කෘතියකට අයිති මිනිස්සු පිරිසක් අඳුනගෙන එයාල ජීවත් වෙන හැටි හිතන පතන හැටි ටික කාලෙකට ඒ ජීවිතේම කොටස්කාරයින් වෙලා අත්දකින්න පුලුවන් වුණේය. එ් වගේම අපේ රටේ තියෙන සමහර ප්‍රශ්න දැකල දැකලම එපා වෙලා තිබුණත් එහෙ ගියාම ඒ වගේ සමාන ප්‍රශ්න එහෙත් තියෙනව කියල දැක්ක එකත් ලොකුම අත්දැකීමක්ය. ඒ විදියට අපි සමහර දේවල් දිහා බලන විදිය වෙනස් වුණ එක තායි ගමනින් මා නම් ලබා ගත් වටිනාම දෙය යැයි මට සිතේ.