Wednesday, November 16, 2016

1930 සහ 2016 කතා දෙකක්

දිනක්...

"මට ආරංචියි අද ඉස්කෝලෙ ළමයි ලොකු කලබලයක් කරා කියල. උඹ මොකද කරේ? (ඉස්කෝලෙ ගිහින්)"

"අද හර්තාල් නිසා ඉස්කෝලෙ නෑ. ඒ අස්සෙ... (මෙන්න මගෙ ප්‍රශ්නෙ විසඳගන්න නියම චාන්ස් එක) කවුද එකෙක් මගෙ තොප්පිය උදුරගෙන ඉරල විසි කරා. මට හෙට ඉස්කෝලෙ යන්න අලුත් කැප් එකක් ඕනි."

"මොකාද ඒ වැඩේ කරපු එකා?"

"මං දන්නෑ. සෙනඟ අස්සෙ හිටපු එකෙක්"

"ඇයි ඌ එහෙම කරේ?"

"ඒක පිටරට එකක් නිසා"

"කවුද කියන්නෙ? මම ඒක 'කදාර්' (අත්යන්ත්‍ර රෙදි) කඩෙන් ගත්තෙ. මොකද උඹ හිතන් ඉන්නෙ උඹ ඔක්කොම දන්නව කියලද?"

"මම මොකුත් කරේ නෑ. මට ගහන්නත් ගියා උන් මං ඒක නවත්තන්න හැදුවම"

"උඹ උට ගහල බිම දාන්නයි තිබ්බෙ. මම කැප් එකයි උඹේ ඇඳුම් මහන්න රෙද්දයි දෙකම ගත්තෙ කදාර් කඩෙන්. මොකෙක් හරි කියනව නම් ඒව කදාර් නෙවෙයි කියල උෟ පොට්ටයෙක් වෙන්න ඕනි."

"මිනිස්සු කියනව ඒව ලැන්කෂයර් වල හදපුව කියල."

"විකාර. උන්ට උන්ගෙ වැඩක් බලාගන්න කියපන්. මතක තියාගනින්, උඹ පාර යන එක එකා කියන එ්ව අහල උඹේ ඇඳුම් ඉරල දාන්න දුන්නොත් උඹට හෙලුවෙන් තමයි පාරෙ යන්න වෙන්නෙ. ඒ වගේම උඹ ගිහින් කියපන් උන්ට මම මගෙ එක සතයක් පිටරට වලට යවල නෑ කියල. මම මගෙ යුතුකම් හොඳට දන්න මිනිහෙක්. ඒ මොනව වුනත් දෙයියන්ගෙ නාමෙන් උඹලට බැරිද ඔය දේශපාලනෙන් ඈත් වෙලා උඹලගෙ වැඩක් බලාගන්න? අපට මේ රටේ ඕනි තරම් ප්‍රශ්න තියෙනව, උඹල වගේ කජුකිරි කොල්ලො ඒව තවත් අවුල් කරේ නැතුවට."

(ස්වාමි සහ ඔහුගේ පියා අතර දෙබසකි)

පෙර දින...

දිනය 1930 අගෝස්තු 15 වෙනිදා. දෙදහසක පමණ මල්ගුඩි වැසියන් පිරිසක් එදින සරායු ගඟේ ඉවුරට රැස්ව සිටියේ බොම්බායේ ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ගෞරි ශංකර් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීමටයි. කදාර් ඇඳුමකින් සැරසුණු ගාම්භීර පෙනුමක් ආරූඪ කරගත් දේශකයෙක් වේදිකාවක් මත නැගී ජනකාය අමතමින් සිටියා. තියුණු, උස් හඬින් ගෞරි ශංකර්ගේ ජීවිතය හා කාර්යභාරය ගැන විස්තර කළ ඔහු ඉන් පසුව කතාව වෙනස් අතකට හැරෙව්වා.

"අපි අද වහලුන් වෙලා. වෙන කවදාටත් වඩා වහලුන් වෙලා. අපි අපේ උරුමය මතක් කරගමු. ඇයි අපට රාමායණයේ හා මහා භාරතයේ තියෙන අභිමානවත් අතීතය අමතකද? මතක තියාගන්න මේ රට කාලිදාස කෙනෙක්, බුදු කෙනෙක්, ශංකරාචාර්ය කෙනෙක් ලෝකෙට දීපු රටක්. අපේ මුතුන් මිත්තෝ නැව් හදාගෙන මුහුදු තරණය කරපු කාලේ, අපි ශිෂ්ටාචාරයේ හිණිපෙත්තේ හිටපු කාලේ, සුද්දෝ හෙලුවෙන් කැලෑවල අැවිදිනවා අමු මස් කකා. ඒත් අද අපට මොකද්ද වෙලා තියෙන්නෙ? අපි වහලුන්ගෙත් වහල්ලු වෙලා."

මේ වෙලාව වෙන කොට ස්වාමිටත් ඔහුගේ මිතුරු මානිටත් මේ කතාව තේරෙන්නෙ නැති තත්වෙට ඇවිත් තිබුණෙ. ඒත් අර පුද්ගලයා ඊළඟට කියපු දේ නම් හරිම ප්‍රායෝගිකයි කියල ඔවුන්ට හිතුණා.

"නිකමට හිතපල්ලා. අපි මිලියන තුන්සිය තිස් හයක් ඉන්න, යුරෝපෙ තරම් ලොකු රටක්. ඒකට එංගලන්තෙ. අපේ මදුරාසිය තරම්වත් නැති, සුද්දො ටික දෙනෙක් ඉන්න, ඒ මදිවට හැතැම්ම දාස් ගානක් ඈත තියෙන රටක්. ඒත් අපි මෙහෙ ඉඳන් උන්ට වැඳ වැටෙනවා! අැයි අපට එහෙම වෙලා තියෙන්නෙ? අපේ මහ උන්ගෙ වැරදි නිසා නෙවෙයිද? වෙන මුකුත් ඕනි නෑ, අපි ඔක්කොම එකතු වෙලා එංගලන්තෙ උඩට කෙළ ගැහුවත් ඇති උන්ව යට වෙලා මැරිල යන්න!"

දේශකයාගේ කතාවෙන් බොහෝ සේ උද්දාම වූ ස්වාමි හා මානි අතර ඉන්පසු ඇති වූ කතාවයි මේ.

"ගාන්ධිට ජය වේවා!"

"මෝඩයා! ඇයි උඹට කට වහන් ඉන්න බැරි?"

"ඒක ඇත්තද?"

"මොකද්ද?"

"අර කෙළ ගහලා සුද්දන්ව ගිල්ලලා මරලා දාන එක?"

"වෙන්න එපැයි නේද? නැත්නම් උඹ හිතනවද ඔය මනුස්සය ඕක කියයි කියල?"

"ඉතින් එහෙනම් අපි ඒක කරන්නෙ නැත්තෙ ඇයි? "

"සුද්දො අපට වෙඩි තියයි යකෝ, උන්ට කිසි අණක් ගුණක් නෑ"

ස්වාමි තවත් මොකද්දෝ කීමට සැරසුණත් ළඟ සිටියවුන් ඔහු දෙස රවා බැලූ හෙයින් ඔහු කට පියා ගත්තේය.

සවස් භාගයේ ඉතිරි කොටස ස්වාමි හා මානි, දේශකයාගේ කතාවේ ඇලී ගැලීම සිටියෝය; ඔහුත් සමග ඉන්දියානු කම්කරුවාගේ ඉරණම ගැන හඬා වැටුණාහ; එංගලන්ත බඩු වර්ජනය කරන්නට ශපථ කළහ; ඒ වෙනුවට සිය රට දේ වූ කදාර් රෙදිම අඳින්නට තීරණය කළෝය.

හදිසියේම මානි දෙස හැරුණු ස්වාමි පහත් හඬින් මෙසේ ඇසීය.

"උඹ දන්නවද මම ඇඳන් ඉන්නෙ මොනවද කියල?"

"යකෝ... ඕක ලැන්කෂයර් ඇඳුමක්!"

"උඹ කොහොමද දන්නෙ?"

ඊට පිළිතුර වූයේ රවා බැලීමක් පමණි.

"උඹ ඇඳන් ඉන්නෙ මොකද්ද?"

"මේක කදාර් යකෝ! උඹ හිතුවද මම ඔය සුද්දන්ට එක සතයක් ගෙවයි කියලා?"

මේ කතාව ගැන නම් ස්වාමිට සැකයක් ඇති වුණත් ඔහුට ඒ මොහොතේ සිතට ආ එකම හැඟීම, 'ලැන්කෂයර් ඇඳුමකින් ආවාට වඩා හෙලුවෙන් ආවා නම් හොඳය' යන්න පමණි.

එක වරම ජනකාය මැදින් "භාරත මාතාවට ජය වේවා" "ගාන්ධිට ජය වේවා" යනුවෙන් මහත් හඬක් නැගුණි. ඉන්පසුව මලානික දේශාභිමානී ගීතයකි. ඊටත් පසුව සැඳෑ අඳුර ඒකාලෝක කරමින් ගිනි ගොඩක් දල්වන ලදී. ගාන්ධි තොප්පි පැළඳි ළමයි කිහිප දෙනෙක් ජනතාව අතරින් ඇවිද ගියේ පිටරට ඇඳුම් පුළුස්සන ලෙස ඔවුන්ගෙන් අයදිමිනි. කබා, තොප්පි හි තවත් උඩුකය ඇඳුම් ගැලවී ඉගිලී ගොස් ගිනි ජාලාව මැදට වැටුණේ දුම් හා ගඳ නංවමිනි.

ස්වාමි මේ දෙස බලා සිටියේ සතුටින් ඔද වැඩෙමිනි. එහෙත් එක් වරම:

"ළමයා උඹට ඕනි අපේ රට සදාකාලිකව වහලුන් කරල තියන්නද?"

"නෑ නෑ!"

"ඒත් උඹ දාගෙන ඉන්නෙ පිටරට තොප්පියක්!"

"ආ! මට අමතක වුණා!"

ඔහු එක්වරම ලැජ්ජාවට පත් වුවත් හනික සිය තොප්පිය ගලවා ගිනි ගොඩට විසි කළේ 'තම රට බේරා ගන්නවා' යන අභිමානවත් හැඟීමකිනි.

පසුවදන

මේ හුදෙක් 1935දී ලියූ 1930 ඉන්දියානු කතාවක ("Swami and Friends" by R. K. Narayan) කොටසක දළ පරිවර්තනයක් වන අතර, 2016දී ලංකාවේ සිදු වූ මීට සමාන සිදුවීම් මාලාවකට කිසිදු සම්බන්ධයක් නැත.

ප.ලි.


Upload කරේ මේකෙන්. ඇයි අවුල්ද?

Sunday, October 16, 2016

වතුර

මහා ගංවතුරක් ඇවිත් මාස පහක් යන විට නියඟයක් ඇවිත් වතුරත් කපන තැනට පත්ව තිබේ. එය නිමිති කරගෙන ලියන්නට හිතද්දීම ප්‍රදේශ කිහිපයකටම දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව දැනගන්නට ලැබුණි. ඒත් කොළඹද ඇතුළුව ප්‍රදේශ බොහොමයක ඇති අධික උෂ්ණත්වය හා නිල නොවන වතුර කැපිල්ලට තවත් යම් කාලයක් යන තුරු නැවතුමක් ලැබෙතැයි සිතීම අසීරුය.

වතුර සම්බන්ධ තත්ත්වය එබඳුය. වතුර සම්බන්ධ කතාව දේශගුණයේ හැසිරීම ගැන කතාවේම කොටසකි. ජල චක්‍රය ගැන අප අැසුවේ හතර වසරේ ආරම්භක විද්‍යාවට විය යුතුය. එහි හැසිරීම තීරණය වන්නේ දේශගුණයත් සමගය. එහෙත් දේශගුණ විපර්යාස ගැන අප අසන්නේ වඩා මෑත කාලයේ සිටය. එම සංසිද්ධියත් සමග අපට වතුර ලැබෙන විදියේද විශාල වෙනස්කම් ඇති වී තිබෙන වග අප තේරුම් ගත යුතුය. එසේ නොමැතිව ජනගහණ වර්ධනයත් සමග ජල ඉල්ලුමද වැඩි වන අනාගතයට මුහුණ දීම විහිළුවකි.

අපට ජලය ලැබෙන ප්‍රධාන ආකාරය වැස්සයි. ලංකාවේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 2,500ක් පමණ බැව් අප අසා ඇත. අපට වැස්ස ලැබෙන ආකාරය වෙනස් වී - එනම් වහින කොට නැති වෙන්න වහින්නත් පායන කොට කර වෙන්න පායන්නත් පටන් ගෙන - ඇතත් අවුරුද්දටම වහින ටික එකතු කර බැලූ විට ලොකු වෙනසක් වී නැත. කොටින්ම කීවොත් total rainfall එක වෙනස් වී නැතුවත් rainfall intensity එක සෑහෙන්න වෙනස් වී ඇත.
ඊයෙ-පෙරේදා ගංවතුර නිසා (ගත්තෙ මෙතනින්)
ඊයෙ-පෙරේදා නියඟය නිසා (ගත්තෙ මෙතනින්)
ගංවතුර හා නියඟය යන දෙකම මේ වෙනස් වීම් වල ප්‍රතිඵල ය. ඉතින් අපේ සූදානම විය යුත්තේ මේ extreme events වලට මුහුණ දීමට හැකියාව ඇති කර ගැනීමය. ජල කළමනාකරණයක් ගැන ඇසූ සැණින් පස්ස ගිනි ගත්තා සේ "මෙන්න වතුර ටිකත් විකුණ ගන්න හදනවෝ" යැයි කෑ නොගසා වැස්සෙන් එන වතුර ටික නිකම්ම මුහුදට යන්නට නොදී ඉන් උපරිම ඵල නෙළා ගන්නා විදියක් අප සිතිය යුතුය. ඒත් වැඩේ තියෙන්නේ එහෙම කිව්වාම අපට සිදු වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා මතක් වන එකත් "ඕකනේ අපේ කට්ටිය රජ කාලේ ඉඳන් ඕවා දැනගෙන හිටියානේ" යනුවෙන් ආඩම්බර වන එකත් පමණක් වීමය.

වැස්සෙන් වැටෙන වතුර ටික ජල පෝෂක ප්‍රදේශ හරහා පැමිණ ඇළ-දොළ-ගංගා ඔස්සේ මුහුදට ගලා යන තෙක් ගන්නට ප්‍රයෝජන රාශියක් තිබේ. ඒත් ගොඩක් වෙලාවට ඒ ඒ වැඩේ එ් එ් ආයතනයට බෙදා තිබෙනවා මිසක් කවුරුත් big picture එක දැක ඒ ගැන සිතා වැඩ කරන බවක් පේන්නේ නැත.

එහෙම නැතිව වහින්න කලින්ම වහින්න පුලුවන් කාල වකවානු හා ප්‍රමාණයන් දළ වශයෙන් හෝ ඇස්තමේන්තු කර ඒ ටික එකතු කර තියා ගන්නත් දැනට එකතු කරගෙන ඉන්න ප්‍රමාණ වැඩි නම් ඒවා මුදා හැර අලුතින් එන වතුරට ඉඩ හදා ගන්නත් පුලුවන් නම් කොතරම් අගනේද? වැස්සට පසු ඒ ලැබුණු වතුරෙන් පානීය ජල සැපයුමත් වාරිමාර්ග හරහා කෘෂි ජල සැපයුමත් විදුලිය නිපදවා ගැනීමත් ආදී සියලු දේ හරියාකාරව ඉටු කරගෙන එතැනිනුත් නොනැවතී ගංවතුර පාලනය කර ගන්නත් ඉන් ඉඩ සැලසෙනවා නොවේද? මෙය ඉතා සංකීර්ණ කාර්යභාරයක් සේ පෙනුණත් හෙට දවසේ ජලය සම්බන්ධව ඇති අභියෝග ජය ගන්නට නම් අප මෙය කෙසේ හෝ කළ යුතුම බවයි මගේ හැඟීම.

Sunday, June 5, 2016

කොළඹ ගංවතුර - 2

පෙර ලිපිය හා සබැඳි...

කැලණි ගඟේ ගංවතුරට වගකිවයුත්තෙක් නිශ්චිතව සොයා ගැනීමට නොමැත. එහෙත් රාජ්‍ය ආයතන කිහිපයක්ම විවිධ ආකාරයෙන් ඒ හා සම්බන්ධ වී සිටින අතර ඒවා අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ගැටලුවේම කොටසක් බවට පත්ව තිබේ.

ගඟේ ගංවතුරෙන් අවට ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර පෙර ලිපියේ දැක්වුණු පරිදි ගංවතුර පාලන බැමි හා ගේට්ටු වල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කිරීම ඔවුන් යටතේ පවතී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇළ මාර්ග භාරව සිටින බැවින් ඒ ආශ්‍රිතව ඇති වන ගංවතුර පාලනය කිරීමද ඒ හා බැඳී පවතී. එහෙත් මේ "ආශ්‍රිත ප්‍රදේශ" මොනවාද යන්න පමණක් නොව නෛතිකව "ගංවතුර පාලනය" යන්න ඔවුන් වෙත පැවරී තිබේද යන්නත් අණ-පනත් විමසා දැනගත යුතු කාරණයකි. එබැවින්ම කොළොන්නාව ගංවතුරෙන් යට වීමට වගකිව යුත්තේ කවුද යන්න තබා ඒ ගැන විමසිය යුතු වන්නේ කාගෙන්ද යන්නත් නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නයකි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී ගංවතුරට යට වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය හදිසි ආපදා සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ අතර නිසියාකාරව ගංවතුර කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක අඩුව දක්නට ලැබුණි.

රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම හා මනා සම්බන්ධීකරණය මගින් ආපදා කළමනාකාරණය, දියුණු රටවල රාජ්‍ය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, අප කළ සංචාරයකදී දැනගත් පරිදි, දකුණු කොරියාව තුළ WINS (Water Resources Management Information System) නමින් හඳුන්වන ජලය හා සම්බන්ධ තොරතුරු පද්ධතියක් ඇති අතර මෙමගින් රාජ්‍ය ආයතන 10ක් අතර ජලය හා සම්බන්ධ තොරතුරු හුවමාරුව සිදු වේ.
දකුණු කොරියාවේ රාජ්‍ය ආයතන අතර ජලය සම්බන්ධ තොරතුරු හුවමාරුව දැක්වෙන සාරාංශයක්... (ගත්තේ, සංචාරය ගැන මා විසින්ම සකස් කළ වාර්තාවකිනි)
කෙසේ වෙතත් ගංවතුර පැමිණීම පිළිබඳ ප්‍රමාණවත් පරිදි පුරෝකථනයක් කර ගත හැකි නම් අඩු වශයෙන් ජනතාව කල් තබා දැනුවත් කිරීම හෝ සිදු කළ හැකිය (එබඳු දැනුවත් වීමකින් පසුව පවා ජනතාව සිය වාසස්ථාන වලින් ඉවත් වේද යන්න වෙනම ප්‍රශ්නයක් බව කරුණාවෙන් සලකන්න). ඒ සඳහා වර්ෂාපතන අනාවැකි සහ යම් මොහොතක ලැබෙන වර්ෂාපතනය හා ගඟේ ජල මට්ටම (real-time rainfall and water levels) පිළිබඳ විස්තර වැදගත් වේ.

එහෙත් අවාසනාවකට අප රටේ විශ්වාසදායී වර්ෂාපතන අනාවැකි පළ වන්නේ නැත. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය ගංවතුර ඇති වූ සතියේ බ්‍රහස්පතින්දා දිනය සලකමු. මෙම දිනයේ වැසි ඇති නොවන බව මෙරට කාලගුණ අංශ පෙර දිනයේ ප්‍රකාශ කළද ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි කිහිපයක්ම පෙර දින සඳහන් කර තිබුණේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. මෙරට ජනතාවට සුපුරුදු පරිදිම මෙරට කාලගුණ අනාවැකි බොරු කරමින් දැඩි වර්ෂාපතනයක් එදින ඇති වූ අතර පසුදින උදෑසන කාලගුණ අංශ ජාම බේරා ගත්තේ "සාමාන්‍ය වශයෙන් මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවටත් ස්ථාන කිහිපයක එම අගය අඩු-වැඩි වූ බවටත්" අපූරු ප්‍රකාශයක් සිදු කරමිනි (මෙය මා පසුදින උදෑසන ගුවන් විදුලි නාලිකාවක අදාල නිලධාරියකුගේ හඬින්ම විකාශය වනු ඇසූ කතාවකි). තත්ත්වය මෙසේ නම්, අප විශ්වාසදායී ලෙස වර්ෂාපතන අනාවැකියක් නිකුත් කළ හැකි මට්ටමට පත්වන්නේ කවදාද?

එමෙන්ම මෙරට වර්ෂාපතන වාර්තා නිල වශයෙන් නිකුත් කරනු තබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුවද, තවත් ආයතන ගණනාවක් සතුව වර්ෂාමාන (rain gauges) පවතී. වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මින් කිහිපයකි. දිවයින පුරා ඇති මෙවැනි වර්ෂාමාන වල වාර්තා එක්රැස් කර යම් දිනක් සඳහා වන වැඩිම වර්ෂාපතනය ප්‍රකාශයට පත් නොකිරීමෙන් ඇති වන වෙනස දැනගැනීමට පෙර පරිච්ඡේදයේ දැක්වූ උදාහරණයම අදාල කර ගත හැකිය. එම දිනය සඳහා වැඩිම වර්ෂාපතනය ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිලිමීටර් 64.1ක් (රත්නපුර) වාර්තා කරද්දී ලංකා විදුලිබල මණ්ඩලය මිලිමීටර් 78.5ක් (ලක්ෂපාන) සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව මිලිමීටර් 144.3ක් (දැරණියගල) වාර්තා කර තිබුණි. එසේ නම් දිනයට අදාලව නිල වශයෙන් වාර්තා ගත වූ වැඩිම වර්ෂාපතනය, ඇත්ත වශයෙන්ම ලැබී තිබූ අගයෙන් අඩකටත් අඩුය.

කැලණි ගඟේ ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිය යුතු තවත් කරුණක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, මාඋස්සාකැලේ හා කාසල්රී ප්‍රධාන කොට ඇති ජල විදුලි උත්පාදන ජලාශයි. ඒවායේ ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරීමට ගනු ලබන තීරණ ගඟේ පහළ කොටසේ ජල මට්ටමට සෘජු බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් කැලණි ගඟේ ඉහළ කොටස දැඩි බෑවුමක් සහිතව හා පහළ කොටස ඉතාම මෘදු බෑවුමක් සහතිව පවතින බැවින් ඉහළින් නිදහස් කරන ජල කඳ ඉතා ඉක්මණින් පහළට පැමිණෙන අතර පහළ කොටසේදී වේගය අඩු බැවින් වැඩි ප්‍රදේශයක පැතිර යාම හා ඉතා සෙමින් ජල මට්ටම පහත බැසීම සිදු වේ.
කැලණි ගඟේ ඉහළ කොටසේ ජලාශ හා බලාගාර... (ගත්තේ මෙතනින්)
කරුණු මෙසේ හෙයින්, ගංවතුර කාගේ වගකීමක් වුවද ඊට අදාල දත්ත නවීන තාක්ෂණය භාවිතා කර නිරවද්‍යව හා ඉක්මණින් ලබා ගැනීමට මෙන්ම ඒවා රාජ්‍ය ආයතන අතර නිසි පරිදි බෙදා ගැනීමටත් (data sharing) ක්‍රමවත් පද්ධතියක අවශ්‍යතාව මේ මොහොතේ හෝ යථාර්ථයක් බවට පත් කර ගැනීමට අප ක්‍රියා කළ යුතුය. අප රට තුළ පවතින යල් පැන ගිය හා ඉක්මණ් ප්‍රතිසංවිධානයක් අත්‍යවශ්‍ය පෞද්ගලික බස් ප්‍රවාහන සේවය තුළ පවා, රියදුරන් හා කොන්දොස්තරවරුන් තමන්ට ඉදිරියෙන් හා පසුපසින් ඊළඟ බසය ඇත්තේ කොතැනද මෙන්ම එය යන වේගය හා එහි සිටින මගීන් සංඛ්‍යාවත් දැන ගැනීමට ඉතා කාර්යක්ෂම ක්‍රම ඔවුන් විසින්ම සකසා ගෙන ඇති සමයක, ගංවතුර වැනි ප්‍රධාන පෙළේ ආපදාවක් කළමනාකරණය කර ගැනීමට තොරතුරු පද්ධතියක් සකස් කර ගැනීමට රජයට නොහැකි නම් එය ලැජ්ජාවට කරුණකි.

Saturday, June 4, 2016

කොළඹ ගංවතුර - 1

මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් මාතෘකාවක් වී ඇත්තේ පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයයි. විශේෂයෙන්ම කොළඹ ගංවතුර පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර එහි ප්‍රධාන තැනක්, "රාවය" පුවත්පතේ පළ වූ ලිපියක් හා ඊට සබැඳි මෙන්ම බාහිර "ෆේස්බුක් පෝස්ට්" හරහා, "මුට්වෝල් ටනල්" වෙත හිමි වී ඇත. මාගේ මෙම ලිපියේ අරමුණ, "මුට්වෝල් ටනල්" ගැන මෙන්ම ඉන් ඔබ්බට ගොස් සමස්තයක් ලෙස කොළඹ ගංවතුර තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමයි.

මෙම ලිපිය සඳහා මා "කොළඹ" යනුවෙන් හඳුන්වන්නේ කොළඹ දිස්ත්‍රික්කය හෝ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නොව, වපසරියෙන් ඒ දෙක අතරමැද පවතින ප්‍රදේශයක් වන අතර, පහසුව තකා එය මෙසේ හඳුනාගනිමු.
  • උතුරින් - කැලණි ගඟ
  • බස්නාහිරින් - ඉන්දියන් සාගරය
  • දකුණින් - දළ වශයෙන් "හයිලෙවල්" පාර - නුගේගොඩ - කළුබෝවිල හරහා දෙහිවල දක්වා පාර
  • නැගෙනහිරින් - දළ වශයෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය

මෙම ලිපියට පාදක වන කොළඹ... (ගත්තේ මෙතනින්)
මෙම ප්‍රදේශය, වැසි ජලය බැස යන ආකාරය අනුව, ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
  1. කැලණි ගඟේ ජල ගැලුම් නිම්නය ලෙස පවතින කොළොන්නාව ප්‍රදේශය
  2. සෘජුවම ඉන්දියන් සාගරය වෙත ජලය බැස යන මුහුදුබඩ ප්‍රදේශය
  3. සෘජුවම බේරේ වැව වෙත ජලය බැස යන ප්‍රදේශය
  4. කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණිය (Metro Colombo Basin) ලෙස තාක්ෂණිකව හඳුනා ගන්නා, ඉතිරි ප්‍රදේශය (මෙම කොටස් හතරින් විශාලම කොටස)

මෙම කොටස් හතරින් 2 හා 3 ලෙස දක්වා ඇති කොටස් ඉතා විශාල ඒවා නොවන අතර, ඒවායේ ඇති වන ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මාර්ග අයිනේ ඇති ජලය බැස යාමේ කාණු පද්ධති හා අනෙකුත් කුඩා කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොවීම හේතුවෙන් ස්ථානීය වශයෙන් ඇති වන ගංවතුරයි (local flooding).

එබැවින්, ප්‍රධාන ගංවතුර තත්ත්වයන්ට ලක් වීමේ අවදානම ඇති 1 හා 4 යන කොටස් වෙත පමණක් මෙම ලිපිය තුළින් සාකච්ඡා කරමි. එම කොටස් දෙකෙහි ගංවතුර සඳහාද අනන්‍ය හේතූන් පැවතීම, තාක්ෂණික ඇසකින් මේ දෙස බලන අප වැනි අයට එය අවබෝධ කර ගැනීමට හා ඒ සඳහා පිළියම් සෙවීමට පහසුවක් ඇති කරන නමුත්, ඊට පිටතින් සිට මේ දෙස බලන අය ව්‍යාකූලත්වයට පත් කිරීමට සමත් වී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර

කැලණි ගඟේ ගංවතුරින් අවට ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය යුගයේදී පමණ ගඟේ වම් ඉවුර (කොළඹ දිස්ත්‍රික්කය) හා දකුණු ඉවුර (ගම්පහ දිස්ත්‍රික්කය) සඳහා ගංවතුර ආරක්ෂණ බැමි සහ ගේට්ටු පද්ධතියක් ඉදි කරනු ලැබ ඇත. මෙම ආරක්ෂණ පද්ධති මගින් කැලණි දකුණු ඉවුර, ආසන්න වශයෙන් පෑලියගොඩ සිට පූගොඩ දක්වාත් වම් ඉවුර, ආසන්න වශයෙන් ග්‍රෑන්ඩ්පාස් සිට කලුඅග්ගල දක්වාත් ආරක්ෂා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම මෙය තනි බැම්මක් ලෙස දැකිය නොහැකි අතර උස් බිම් යා කරමින් තැනින් තැන ඉදි වූ බැමි (මීට වම් ඉවුරේ වරාය සිට ඔරුගොඩවත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයට සමාන්තර බැම්මද අයත් වේ) සහ ස්වාභාවික ඇළ මාර්ග ගඟට වැටෙන ස්ථාන වල ඉදි කරන ලද ගේට්ටු වලින් එය සමන්විත වේ.

කෙසේ වෙතත්, දකුණු ඉවුර හා වම් ඉවුර සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් නම්, දකුණු ඉවුරේදී ආරක්ෂණ බැම්ම ගං ඉවුරට ඉතා ආසන්නයෙන් ඊට සමාන්තරවම දිවෙන මුත් වම් ඉවුරේ එක්තරා කොටසකදී බැම්ම සැලකිය යුතු ලෙස ගොඩබිම දෙසට වන්නට ඉදි වී තිබීමයි. එකල එබඳු තීරණයක් ගැනීමට හේතුවක් නිශ්චිතව නොදන්නා මුත් ඒ වන විට කැලණිය ආශ්‍රිත දකුණු ඉවුර ජනාකීර්ණවද කොළොන්නාව ආශ්‍රිත වම් ඉවුර බොහෝ දුරට ජනශුන්‍යවද පවතින්නට ඇතැයි සිතිය හැකිය. කොළොන්නාව ප්‍රදේශයේ භූමියේ උසද ඉතා අඩු මට්ටමක පැවතීම තුළ, ස්වාභාවිකවම මෙන්ම ප්‍රතිපත්තිමය තීරණයක් මතද එය කැලණි ගඟේ පහළ කොටසෙහි ජල ගැලුම් නිම්නය බවට පත්ව ඇත.

එහෙත් පසුකාලීනව, කොළඹට ඉතා ආසන්නව පිහිටීම නිසා භූමියේ අගය වැඩි වීමත් නිසි සැලසුමක් රහිත නාගරීකරණයත් දේශපාලනික බලපෑමත් නිසා අතිශය ජනාකීර්ණ වූ කොළොන්නාවට, කැලණි ගඟේ ඉහළ ජලාධාරයන්ට අධික වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී ගංවතුර ඇති වීම අනිවාර්ය සිද්ධියක් වන අතර මෙවර කොළොන්නාව ආශ්‍රිතව ඇති වූයේද එම තත්ත්වයයි. එලෙස ගඟේ ජලය ඉවුරු තලා නොගියද ස්වාභාවිකව පහත් බිමක් වීම හේතුවෙන් කොළොන්නාවට යම් ඉහළ මට්ටමක වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී පවා එම ජලය වේගවත්ව බැස යාමට ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යට වීම සිදු වේ.
කොළොන්නාවට මෙවර බල පෑ ගංවතුර... (ගත්තේ මෙතනින්)
මෙම තත්ත්වය මග හැරවීමට නම් එක්කෝ කොළොන්නාව මිනිස් ජනාවාසයක් ලෙස පිළිගෙන කැලණි ගඟේ වම් ඉවුරු බැම්මේ මට්ටම එසවීම මගින් හා ඇතුළත එක්රැස් වන ජලය ඉවත් කිරීමට පොම්පාගාර (එකක් හෝ කිහිපයක්) යෙදීම මගින් එම ප්‍රදේශය ගංවතුරින් මුදා ගත යුතුය. වම් ඉවුරේ මට්ටම එසවීම අනිවාර්යයෙන්ම ගඟේ ඉහළ ජලාධාරයන්ට පමණක් නොව නුදුරුවම ඇති දකුණු ඉවුරු බැම්මට හා ඉන් ආරක්ෂා කරනු ලැබ ප්‍රදේශයන්ට සෘජුවම ඇති බලපාන බැවින් එය සිදු කළ යුත්තේ මුළු ගං ද්‍රෝණියම ආවරණය වන පරිදි සිදු කරන විස්තරාත්මක අධ්‍යයනයකින් පසුව පමණකි. අනෙක් විකල්පය වන්නේ කොළොන්නාව ගඟේ ස්වාභාවික ජල ගැලුම් නිම්නය ලෙස පිළිගෙන එහි ජීවත් වන ජනතාව (ඉතා පහත් බිම් වල වෙසෙන්නන් පමණක් හෝ) ඉන් ඉවත් කර සුදුසු ස්ථානයක පදිංචි කරවීමයි. මේ දෙකම ඉතා වියදම් අධික සහ වෙහෙසකර ව්‍යායාමයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් මේ අන්තයන් දෙකින් එකක් තෝරා ගැනීම හැර "මැද මාවතක" විසඳුමක් මේ සඳහා නොමැති බව මාගේ විශ්වාසයයි.


"කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණියේ" ගංවතුර ගැන මීළඟ ලිපියෙන්...

Friday, January 15, 2016

කොළොම්තොට - 4 - පාරු පා‍ලමෙන් කොළඹට

1, 2, 3 කොටස් ලියල ගොඩ කාලෙකින් තමයි මේ හතර වෙනි කොටස ලියන්න ගත්තෙ. ඉතින් ඒ කොටස් තුන නොකියවපු අයත් කියවපු නමුත් අලුතින් මතක් කරගන්න කැමති අයත් ඉස්සෙල්ල ඒ ටික කියවල එන්නකො.




අද කොළඹ ගැන කියන්න මාතෘකා කර ගත්තෙ මීට කාලෙකට කලින් ජනප්‍රිය වෙච්ච සිංදුවක්. ඒකෙ පද පේළිය බැලුවම පාරු පාලම, ගෑස්පහ, සෙක්කු වීදිය, කයිමන් දොරකඩ, බේරේ වැව, ශාන්ත බස්තියන් ඇළ, මහ මංකඩ, මේ වගේ කොළඹ ලෑන්ඩ්මාක්ස් කීපයක් ගැනම කියවෙනව.

කොළඹට උතුරු පැත්තෙ ඉඳන් එන කෙනෙක් නගරයට ඇතුල් වෙන්න නම් කැලණි ගඟ තරණය කරන්න ඕනි. අදටත් ඒ පැත්තෙ පාරවල් වල උදේටයි හවසටයි ලොකු ට්‍රැෆික් එකක් තියෙන්නෙ කැලණි ගඟ හරහා තියෙන පාලම් ගාන ප්‍රමාණවත් නැති නිසා. ඇයි ඉතින් කැලණි ගඟ හරහා නගරය ආශ්‍රිතව තියෙන්නෙ මට්ටක්කුලිය පාලමයි, කලින් වික්ටෝරියා පාලම කියල හඳුන්වපු ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව පාලමයි, නව කැලණි පාලමයි විතරයිනෙ. තව ටිකක් හරි කොළඹට කිට්ටු පාලම් තියෙන්නෙ කැලණිසිරි පාලමයි, කඩුවෙල හයිවේ එකත් එක්ක අලුතින් හදපු පාලමයි, කඩුවෙල පරණ පාලමයි.

මේ කතා ටික කිව්වෙ පාරු පාලම ගැන කියන්න. අර මම කියපු ශ්‍රී ලංකා - ජපන් මිත්‍රත්ව පාලම හදල තියෙන තැන කලින් තිබ්බෙ වික්ටෝරියා පාලම කියලා යකඩ පාලමක්. ඊටත් කලින් එතන තිබිල තියෙන්නෙ බෝට්ටු ගණනාවක් එක ළඟ තියල ඒවට උඩින් හදපු ලී පාලමක් (Bridge of Boats කියල හඳුන්වපු). අර සිංදුවෙ තියෙන විදියටම මිනිස්සු විතරක් නෙවෙයි ගැල් පේළිත් මේ පාලම උඩින් ගිහින් තියෙනව.
කොළඹ පාරු පාලම... (ගත්තේ මෙතනින්)
මෙතනින් කොළඹට ඇතුල් වුණ ගැල් පේළිය ගෑස්පහට ආව කියලනෙ කියන්නෙ. අදටත් කැලණි පාලමෙන් කොළඹට ඇතුල් වෙලා කෙළින් පාරේ එන බස් එකක පිටකොටුවට එන කෙනෙක් ගෑස්පහ හරහා තමයි එන්න ඕනි. මෙතන මේ කෙළින් පාර කියන්නෙ කැලණිතිස්ස හන්දියෙන් ඉඟුරුකඩේ හන්දියට දාලා ස්ටේඩියම් එක පහු කර ගෙන ආමර් වීදිය හරහා එන එක කියලත් එහෙම නැතුව බේස්ලයින් එක දිගේ ගිහින් මාළිගාවත්තෙන් හරවල මරදාන හරහා එන පාරට කියන්නෙ මාළිගාවත්ත පාර කියලත් දන්නව ඇතිනෙ.

ගෑස්පහ තමයි ඒ කාලේ කොළඹට ගෑස් සපයපු සමාගම (Gasworks Company) තිබිල තියෙන්නෙ. ඒ කාලෙ වීදි පහන් පත්තු කරල තියෙන්නෙ ගෑස් වලින්. ඒ විතරක් නෙවෙයි නගරයෙ ගෙවල් වලට ගෑස් සැපයුම් පවා තිබිල තියෙනව පයිප්ප හරහා. මේ ළඟදි කොළඹ පාරක අලුුතින් බෝක්කුවක් ඉදි කරන්න හාරන කොට ජල සම්පාදන මණ්ඩලයවත් විදුලිබල මණ්ඩලයවත් වෙන කිසිම ආයතනයක්වත් අඳුනගත්තෙ නැති පයිප්පයක් හම්බ වුනා. බලන කොට ඒක ඒ කාලෙ තිබිල අභාවයට ගිය ගෑස් පයිප්පයක්. මට මතකයි මෑතක් වෙනකම්ම ගුණසිංහපුරේ ඉඳන් බැස්ටියන් මාවත බස් ස්ටෑන්ඩ් එක පැත්තට එන පාරෙ තාප්පෙක ඔය සමාගමේ නම ගහල තිබුණ. තාම තියෙනවද දන්නෑ.

සෙක්කු වීදිය ගැන නම් ලොකු විස්තරයක් හොයා ගන්න බැරි වුනා. ඒකට දැන් කියන්නෙ ශ්‍රී කදිරේසන් වීදිය කියල. ගූගල් මැප් එකේ බැලුවොතින් පේනව ඒ පාරත් ගෑස්පහ හන්දියට සම්බන්ධ වෙන පාරක් කියල. ඉතින් කොළඹට එන අය සමහර විට ඒ පාරෙ යනව ඇති රෙදිපිළි එහෙම ගන්න. සෙක්කු වීදියේ කම්බා ගැනනෙ කියන්නෙත්.

කයිමන් දොරකඩ වැදගත් වෙන්නෙ පෘතුගීසි කාලෙ පරිපාලන හා ආරක්ෂක වශයෙන් මූලස්ථානය වෙච්ච කොටුව හා ඊට පිටතින් තිබුන ආර්ථික මධ්‍යස්ථානය වෙච්ච පිටකොටුව සම්බන්ධ කරපු එකම දොරටුව හැටියට. මේ කොටුව හා පිටකොටුව වෙන් වුනේ ඇළකින් කියල කියනවා. ඒ ඇළ හඳුන්වල තියෙන්නෙ ශාන්ත ජෝන් ඇළ කියල. මේ ඇළ බේරේ වැවයි කොළඹ වරායයි සම්බන්ධ කරපු ඇළක්. පසු කාලීනව ඇළ වහල ඒක පාරක් බවට පත් කරල තියෙනව ඉංග්‍රීසීන් විසින්. අද ශාන්ත ජෝන් වීදිය කියල හඳුන්වන්නෙ ඒ විදියට හදපු පාරෙ එක කොටසක්. අද පිටකොටුවෙ තියෙන‍ හරස් වීදි එකක් හෝ කීපයක් සමහර විට එදා තිබුන ඇළ පුරවල හදපුවා වෙන්න ඇති. ඉතින් මේ ඇළ මතින් දාපු පාලමක් මතින් තමයි කයිමන් දොරකඩට ඇතුල් වෙන්න තිබිල තියෙන්නෙ.

අද කයිමන් දොරකඩ ඉතුරු වෙලා තියෙන්නෙ ඝණ්ඨාර කුළුණක් විතරයි. ඒක ඒ කාලෙ මෙතනින් ඇතුල් වෙන්න ආපු අය විසින් නාද කළ යුතුව තිබුන එකක් බවටත් ආරක්ෂාව සඳහා හදිසි අවස්ථාවකදී නාද කරන්න තිබුන එකක් බවටත් විශේෂ අවස්ථා වලදී නාද කරපු එකක් බවටත් විවිධ මත තියෙනව. කොහොම වුනත් මේකට කයිමන් කියන නම ලැබිල තියෙන්නෙ ලන්දේසි කාලෙ. ඔවුන්ගෙ බසින් කයිමන් කියන්නෙ කිඹුලන්ට. මේ ඇළේ ඒ කාලෙ කිඹුලො ගැවසුන නිසා ඒ නම දැම්ම කියල තමයි කියන්නෙ.
කයිමන් දොරකඩ ඉතිරිව ඇති ඝණ්ඨාර කුළුණ... (ගත්තෙ මෙතනින්)
එහෙනම් සිංදුවෙ හැටියට ඉතුරු තැන් ටික වන බේරේ වැව, ශාන්ත බස්තියන් ඇළ හා මහ මංකඩ ගැන ඊළඟ ලිපියෙන්...

Tuesday, December 8, 2015

රිසානා, ගල් ගැසීම සහ සිංහයෝ

මතකද රිසානා? ඔව් ඔව් අර අඩු වයසින් සවුදි ගිහින් කඩු පාරින් අවසන් ගමන් ගියේ. දැන් අවුරුදු දෙක හමාරකටත් වැඩියි මගෙ හිතේ.

ආ ඔව් මේ ළඟදිත් සවුදි ගිය එක්කෙනෙක්ව මරන්න නියම වෙලා නේද? මේ පාර නම් ගල් ගහලලු මරන්න යන්නේ. නම නම් දන්නේ නෑ හැබැයි. එච්චර කතාවක් ඇහුණෙත් නෑ තමා ගිය පාර වගේ.

මේ ලියන්න යන්නේ එදා මම ලියපු කතාවක්. ලියන්න යනවා නෙවෙයි ඇත්තටම කලින් එකම කොපි ඇන්ඩ් පේස්ට් කරන්න යන්නේ. එදා මේක ගියේ 2013 පෙබරවාරි 21 ලංකා සී නිව්ස් වෙබ් සයිට් එකේ. මේක ආපහු දාන්නේ කලින් පාර බ්ලොග් එකේ දාන්න බැරි වුණ නිසාම නෙවෙයි අවුරුදු දෙක හමාරකටත් වැඩි කාලයක් ගිහිල්ලත් ඒ කතාව අදටත් වලංගුයි කියලා හිතෙන හින්දා. අර සීනි බෝල කතාවයි නයිට් රේස් කතාවයි ඇරෙන්න.

මෙන්න එහෙනම් කතන්දරේ ගෙඩි පිටින්ම.

රිසානාගේ මරණයේ අතුරු කතා - 1
මුතූර්හි දුප්පත් පවුලක ඉපිද පවුලේ යහපත වෙනුවෙන් බාල වියේදීම රියාල් සොයා සවුදියට ගොස් නොකළ(?) වරදකට ෂරියා නීතියෙන් වැරදිකාරිය වී අලුගෝසුවකුගේ අසිපත් පහරින් ජීවිතයෙන් සමු ගත් රිසානා නෆීක්ගේ මරණය බොහෝ දෙනකුගේ මෙන් මගේද සිත සසල කිරීමට සමත් විය. ඈ වෙනුවෙන් ලියැවුණු ලිපි, කවි, ගී, නිසඳැස් පමණක් නොව ඇයට අත්වූ ඉරණම පිළිබඳ විවිධ පාර්ශ්වයන්ට එල්ල කර ගන්නා චෝදනා වලින්ද පුවත්පත්, බ්ලොග් පිටු හා ෆේස්බුක් පිරී ගියේය. කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍යයයෙන් සිදු වන පරිද්දෙන්ම රිසානාද අමතකව ගොස් තිබේ. රිසානා අමතක වුවත් රටක් වශයෙන් අපට අමතක කළ නොහැකි අතුරු කතා කිහිපයක් ඇගේ මරණයෙන් පසුවද ඉතිරි වී තිබේ. මේ, ඉන් එක් අතුරු කතාවකි.
මා පාසලේදී ඉතා ආශාවෙන් උගත් විෂයයක් නම් සමාජ අධ්‍යයනය හා ඉතිහාසයයි. අපට 7 ශ්‍රේණියේදී මේ විෂයය ඉගැන්වූ ෆාරුක් සර් දිනක් අපගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ අප රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන අංශ තුන මොනවාද යන්නයි. අපගේ දැනුමේ හැටියට අප පිළිතුරු දුන්නේ තේ, පොල්, රබර් යනුවෙනි. එහෙත් ෆාරුක් සර් කියා සිටියේ එම පිළිතුර වැරදි බවත් අපට වැඩිම ආදායම උපයා දෙන ප්‍රධාන අංශ තුනම කාන්තාවන් මුල් කර ගත් අංශ බවත්ය. ඒ පිළිබඳ අප හට අවබෝධයක් නොතිබූ බැවින් ෆාරුක් සර් විසින්ම එය පැහැදිලි කරන ලද්දේ මෙසේය.
එක - හවුස්මේඩ්ස්, දෙක - ගාමන්ට්, තුන - තේ
රිසානාගේ සිද්ධිය අළලා ලිපියක් ලිවීමට අවශ්‍ය කරුණු සොයා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2010 සංඛ්‍යාලේඛන වාර්තාව පරිශීලනය කිරීමේදී, උක්ත සිද්ධියෙන් වසර දහයකට පමණ පසුවත් තත්ත්වය වෙනස් වී නොමැති බව මා හට වැටහුණි. මෙම ලිපියෙහි දැක්වෙන දත්ත සියල්ල එම වාර්තාවෙන් උපුටා ගන්නා ලදී.
මිලියන 20ක් වූ ශ්‍රී ලාංකේය ජනගහණයෙන් 10%කට ආසන්න ප්‍රමාණයක්, එනම් මිලියන 1.9ක ජනතාවක්, විදේශයන්හි සේවය කරති. මොවුන්ගෙන් 2010 වසරේ අප රටට ලැබී ඇති විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 465ක්, එනම් රටේ සමස්ත විදේශ ඉපයුම් වලින් 50%කි. මෙම දත්තය කියවූ සැණින්, මෙසේ විදේශයන්හි සේවය කරන එක් පුද්ගලයකුගේ සාමාන්‍ය මාසික ආදායම කොපමණද යන්න මා ගණනය කළ අතර එය ආසන්න වශයෙන් රුපියල් 20,000ක පමණ අගයකි. මේ පිරිසට වෘත්තිකයන්, මධ්‍යම මට්ටමේ නිලධාරීන්, පුහුණු ශ්‍රමිකයන් මෙන්ම නුපුහුණු ශ්‍රමිකයන්ද අයත් වන බැවින් අඩුම ආදායමක් ලබන නුපුහුණු ශ්‍රමිකයකුගේ මාසික ආදායම අනිවාර්යයෙන්ම තවත් පහළ අගයක් ගනී (පසුගිය දශකය තුළ විදේශයන්හි සේවය සඳහා පිටත්ව ගිය පිරිසෙන් 70%ක් පමණම නුපුහුණු ශ්‍රමිකයන් වන අතර ඉන් 66%ක් කාන්තාවන්ය). තවද විදේශයන්හි සේවය කරන පිරිසගෙන් 93%ක්ම මැද පෙරදිග රටවල සේවය කළද ඔවුන්ගෙන් ලැබී ඇති ආදායම සමස්ත අගයෙන් 60%ක් පමණි. මෙයින්ද පැහැදිලි වන්නේ මැද පෙරදිග කලාපයේ සේවකයන්ගේ අඩු වැටුප් මට්ටමයි.
තවද, වාර්ෂිකව 250,000ක පමණ පිරිසක්, එනම් දිනකට 700කට ආසන්න පිරිසක්, විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත. මෙලෙස 2010 වසරේ පිටත්ව ගිය පිරිසෙන් 49%ක් කාන්තාවන් වන අතර ඉන් 86%ක්ම පිටත්ව ගොස් ඇත්තේ ගෘහ සේවිකාවන් ලෙස සේවය කිරීම සඳහාය.
ඉහත වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ නුපුහුණු ශ්‍රමිකයන්ගේ වැටුප ඉතා පහළ මට්ටමක පවතින අතරම ඒ සඳහා ඇති කේවල් කිරීමේ හැකියාවද ඉතා අඩු බවයි. එමෙන්ම එම රටවල පුහුණු ශ්‍රමිකයන් සඳහා අධික ඉල්ලුමක් සහ ඉහළ වැටුප් තල පැවතියද එම ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් සැපයීමට අප රට අසමත්ව ඇති බවත් එහි දැක්වේ.
සමස්තයක් ලෙස ගත් කල විදෙස් ශ්‍රමිකයන්ගෙන් මේ සා විශාල ආදායමක් රටට ලැබුණද එයට සාපේක්ෂව උද්ගත වී ඇති සමාජයීය ගැටලු හේතුවෙන් මෙම ආදායමින් සිදු වන ආර්ථික වර්ධනය,සංවර්ධනයක්බවට පත් කර ගැනීමට නොහැකි වී ඇත. කෙසේ වෙතත් ඉහත දැක්වූ මට්ටමේ මාසික වැටුපක් උදෙසා හෝ විදේශගත වීමට ශ්‍රී ලාංකිකයන් යොමු වී ඇත්තේ අඩු ඒකපුද්ගල ආදායම, රැකියා වියුක්තිය හෝ ඌන රැකියා නියුක්තිය, ඉහළ උද්ධමනය, ණය බර ආදී හේතූන් නිසා බවද උක්ත වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ අනුව, අප හමුවේ ගැටලු කිහිපයක්ම පැන නගී. ඉන් ප්‍රධාන වන්නේ රටක් වශයෙන් අප හට සතුටු විය හැකිද යන්නයි. එහෙත් එයට පිළිතුර ඉහත වාර්තාවේ සඳහන් දත්ත වලින්ම පැහැදිලි වනු ඇත. අපගේ මැති-ඇමැතිවරුන් හා නිලධාරීන්, විදේශ රැකියා අවස්ථා ...ක් ලබා දී දුප්පත් කාන්තාවන් ...ක් රට යවා වාර්ෂිකව ...ක මුදලක් උපයනවාආදී වශයෙන් කෙතරම් පාරම් බෑවද එම කාන්තාවන් එම රටවලදී මුහුණ දෙන දුෂ්කරතා, එබඳු තත්ත්වයක් යටතේ පවා උපයන ආදායම් මට්ටම, ඔවුන් පිටරට සිටින කාලයේ ඔවුන්ගේ පවුල්වලට අත්වන ඉරණම ආදිය සලකා බැලීමේදී මේ පිරිස රටවිරුවන්ලෙස වර්ණනා කරමින් විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීමෙහි ඇති ඵලය ප්‍රශ්නයට ලක්වීම වැළැක්විය නොහැක.
දෙවනුව, එම වාර්තාවෙන්ම පෙන්වා දී ඇති පරිදි නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියාවන් වෙත යොමු කිරීමට ප්‍රමාණවත් අවධානයක් හා උත්සාහයක් දරා තිබේද යන ප්‍රශ්නය පැන නගී. අප රටෙන් අපනයනය කරන ද්‍රව්‍ය සැලකීමේදී ඒවා හුදෙක් අමුද්‍රව්‍ය ලෙස යවනවා වෙනුවට අගයක් එකතු කර” (Value Addition) අපනයනය කිරීමට යම් අවධානයක් යොමු වී තිබේ. එම කාරණයම මිනිස් බලය සඳහාද ආදේශ කර ශ්‍රමයට වටිනාකමක් එකතු කර ගත්, වඩා ඉහළ වැටුප් තලයන්හි සේවය කළ හැකි පුහුණු ශ්‍රමිකයන් විදෙස් ශ්‍රම වෙළෙඳපොළ වෙත යැවීමටද අපගේ අවධානය යොමු විය යුතුය.
එමෙන්ම රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කරන ලද අදාළ වාර්තාව වගකිව යුතු බලධාරීන් විසින් පරිශීලනය කරන ලද්දේද? එසේ නම් එහි දැක්වෙන හඳුනාගත් ගැටලු සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද? එසේ නොමැති නම් ඒ ඇයි? යනාදී ප්‍රශ්න පිළිබඳවද ගැඹුරින් විමර්ශනයක් කළ යුතුව පවතී. විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වෙන්වූ වෙනමම අමාත්‍යංශයක් පවා ඇති රටක එවැනි පසු විපරමක් සිදු නොවේ නම් එය තවත් සීනි(බෝල) අමාත්‍යංශයක් ලෙස සැලකීමට රටවැසියන්ට සිදු වනවා නොඅනුමානය.
මේ සියල්ලටත් වඩා, විදෙස් රැකියාවන් සඳහා විශේෂයෙන්ම කාන්තාවන් බහුල වශයෙන් යොමු වීමට බලපාන බිම් මට්ටමේ හේතූන් අධ්‍යයනය කර ඔවුන් ඊට වඩා ඵලදායී ආර්ථික කටයුතු වලට යොමු කර ගත හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් මේ රටට මෙච්චරයි, අර රටට මෙච්චරයි වශයෙන් විදෙස්ගත වීමේ  වයස් සීමාවන් පැනවීමට වඩා දහස් ගුණයකින් ප්‍රයෝජනවත් වනු ඇත. මේ ආකාරයෙන් ග්‍රාමීය මට්ටමේ කාන්තාව බලගන්වා ඔවුන් බිම් මට්ටමේ සංවර්ධනයේ නියමුවන් බවට පත් කර ජාතික සංවර්ධනයට දායක කර ගැනීමේ යම් යම් වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක වේ. එහෙත් ඒවා විධිමත් කර ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙළක් ලෙස නුදුරේදී ක්‍රියාත්මක වන දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා හෝ දියත් කළ හැකිදැයි සොයා බැලීම වටී.
අවසාන වශයෙන් සිතන්නට යමක් ලෙස මෙයද සටහන් කර තබමි. රජය පසුගිය කාලයේ හදිසියෙන්ම රථවාහන සඳහා වන බදු ඉහළ දැම්මේ වාර්ෂිකව ඉන්ධන සඳහා අති විශාල විදේශ විනිමයක් වැය වීම නතර කිරීමට බව පවසමිනි. එම විදේශ විනිමයෙන් සැලකිය යුතු කොටසක් අප රටට උපයා දී ඇත්තේ විදේශ රැකියා නියුක්තිකයන් බව පැහැදිලි කරුණකි. එම ධනය ඉතිරි කර දීමට යැයි පවසමින්, සාමාන්‍ය ජනතාව එදිනෙදා කටයුතු සඳහා භාවිතා කරන මෝටර් රථ ප්‍රමාණය අඩු කරන්නේ නම්, කලම්බු නයිට් රේසස් නාමයෙන් හුදෙක් ධනපතියන්ගේ විනෝදාස්වාදය සඳහා දවන ඉන්ධන මිළට ගෙන ඇත්තේ කවුරුන් ඉපයූ ධනයෙන්දැයි දැන ගැනීමට රටවැසියන්ට අයිතියක් ඇත. අපගේ ජාතියේ සංකේතයක් වශයෙන් සිංහයා භාවිතා කරන්නේ, සිංහයාගේ ලක්ෂණයක් බව පැවසෙන සිංහ ධේනුව මහන්සි වී දඩයම් කර ගෙන එන ආහාරය නිකම්ම ගිලදැමීමේ පුරුද්ද නිසා නම්, ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතු නොවේද?

Sunday, October 4, 2015

මෙගාපොලිස්

"මෙගාපොලිස්" කියා සංකල්පයක් ගැන කතාවක් දැන් දැන් ඇහෙන්න පටන් අරන් තිබෙන්නේය. රටේ බස්නාහිර ප්‍රදේශයම මෙගාපොලිස් එකක් කරන්නට යන බවක්ද ඒ අතර ඇහෙන්නේය. ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ මෙගාපොලිස් කියා වචනයක් නැති වුණත් ඒ වචනය හැදෙන්න මුල් වුණා යැයි සිතන "මෙගලොපොලිස්" යන්නට තේරුම දීලා තියෙන්නේ මෙසේය.
A very large, heavily populated city or urban complex
ඉතා විශාල, අධික ජනගහණයක් සහිත නගරයක් නැතහොත් නාගරික සංකීර්ණයක් 
ඒ වගේම "මෙගා" යන්නෙන් "විශාල" කියන එකත් "පොලිස්" යන්නෙන් (polis මිස police නොවේ) "නගරය" යන්නත් (ග්‍රීක් බසින්) කියවෙන නිසා මෙගාපොලිස් සිංහලට නැගිය හැකි සරලම විදිය "විසල් නගරය" යනුවෙන්ය. එතකොට ආණ්ඩුව කියන්නේ රටේ බස්නාහිර ප්‍රදේශයම එක් විසල් නගරයක් කරන්නට යන බවය.

අපේ රටේ බස්නාහිර පළාතට මිස බස්නාහිර ප්‍රදේශයකට කියා වෙනමම සංඛ්‍යාලේඛන නැති නිසා සංසන්දනයට ගන්න වෙන්නේ බස්නාහිර පළාතය. රටේ ජනගහණයෙන් හතරෙන් එකකටත් වඩා බස්නාහිර පළාතේ ජීවත් වන අතර (මූලාශ්‍රය) රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් හරි අඩක් පමණ නිපදවන්නේද බස්නාහිර පළාතේය (මූලාශ්‍රය). අධ්‍යාපනය අතිනුත් රැකියා අතිනුත් වැඩි අවස්ථා තියෙන නිසාම රටේ පොදුවේ සිදු වන්න‍ේ ජනතාව අනෙක් පැති වලින් බස්නාහිර පැත්තට සංක්‍රමණය වෙන එකය.

එහෙම එන මිනිසුන් අතරින් සමහරු ප්‍රධාන නගරයකට ගොඩක්ම ළඟින් හරි, හොඳට බස් තියෙන පාරක් අයිනෙන් හරි, ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙද්දී, තවත් අය ප්‍රධාන පාරක ඉඳන් කිලෝ මීටර් දෙක තුනක් ඇතුළෙන් හරි, පැය ගානකට සැරයක් බස් එකක් දුවන පාරක් ගාවින් හරි ඉඩමක් අරන් ගෙයක් හදාගෙන පදිංචි වෙන්නේ, තම තමන්ගේ ආර්ථික හැකියාවේ තරම අනුවය.
ලංකාවේ බස්නාහිර ප්‍රදේශය නාගරීකරණය වෙලා තියෙන තරම... (ගත්තෙ මෙතනින්)
ඉතින් මේ අය පදිංචි ප්‍රදේශයි එයාලාගේ ජීවිතයි දිහා බලන කොට, එයාලාගේ බලාපොරොත්තු ඉටු කරන්න අපේ රටේ පවතින ක්‍රමය ප්‍රමාණවත්ද කියන ප්‍රශ්නය ඇති වෙන්නේ හේතු ගණනාවක් නිසාය.

  • තම තමන්ගේ ආර්ථික හැකියාව නිසා සමහරුන්ට අකමැත්තෙන් වුණත් ගන්න සිදු වෙලා තියෙන ඉඩම් වල හැටි දැක්කම සහ ඒවා තියෙන ප්‍රදේශ පදිංචියට කොච්චර දුරට ගැලපෙනවද කියල කල්පනා කළාම
  • ගෙවල් සිය ගණන් මැද්දෙ කර්මාන්ත ශාලා තියෙන හැටියි, ඒවයෙන් පිට වෙන අපජලයයි විස වායුයි අර ගෙවල් වල මිනිස්සු ඉවසන් ඉන්න හැටියි, හිටි ගමන් ඒ සමහර ඒව ගිනි අරන් අර ගෙවලුත් එක්කම අලු වෙලා යන හැටියි දැක්කම
  • රැකියාව කරන තැනට නැත්නම් ළමයින් ඉගෙන ගන්න තැනට කොච්චර ළඟින් හිටියත් එතනට යන්න ගතවෙන කාලයයි, යන්න පාවිච්චි කරන්න වෙන පොදු ප්‍රවාහන සේවා වල කොලිටියයි බැලුවම
  • පොඩි පොඩි ගෙවල් හදාගෙන ගොඩ දෙනෙක් පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයක පාරක් දිගේ ඇවිදන් යන කොට පේන, තැන තැන ගොඩ ගැහිල තියෙන දවස් ගානක් පරණ කුණු ගොඩවල් දැක්කම
  • පොඩි වැස්සටත් යට වෙන පාරවල් වගේම කාලෙන් කාලෙට එන ලොකු වැහි වලට ගෙවල් සිය ගණන් වතුරෙන් යට වෙලා දවස් ගණන් තියෙන හැටි දැක්කම
  • සමහර පැති වලට අලුතෙන් ඇවිත් පදිංචි වුණ උදවියයි කාලාන්තරයක් තිස්සේ ඒ පැති වල හිටපු උදවියයි අතර ඇති වෙලා තියෙන නොහොඳ නෝක්කාඩුකම් සහ සමහර පැති වල සිදු වෙන සමාජ විරෝධී දේවල් දැක්කම
මේවට අමතරව, රජයේ ඉඩම් වල අවුරුදු ගානක් තිස්සේ අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න අඩු ආදායම්ලාභී පවුල්, ඔවුන්ගේ එකතුවෙන් හැදුණු නාගරික වතු සහ ඒවත් එක්ක එකට බැඳිල තියෙන දුරාචාර, විශේෂයෙන්ම කොළඹ හා අවට පැති වලට බලපාල තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක්ය.

ඉතින් මේ මෙගාපොලිස් එකක්, එහෙම නැත්නම් විසල් නගරයක් කරන්න යන්නේ ඔය කියන ප්‍රශ්න අඩු වැඩි වශයෙන් තියෙන විශාල ප්‍රදේශයක්ය. ඒක මේ ආවට ගියාට කරන්න බැරි, අභියෝග ගොඩක් තියෙන, බැරෑරුම් වැඩක් වුණත් මගේ නම් ප්‍රාර්ථනාව හරි සැලැස්මක් ඇතුව හදන මෙගාපොලිස් එකකින් මේ ප්‍රශ්න වලට හරි යන විසඳුම් දෙන්න පුලුවන් වේවා කියන එකය.