Sunday, June 5, 2016

කොළඹ ගංවතුර - 2

පෙර ලිපිය හා සබැඳි...

කැලණි ගඟේ ගංවතුරට වගකිවයුත්තෙක් නිශ්චිතව සොයා ගැනීමට නොමැත. එහෙත් රාජ්‍ය ආයතන කිහිපයක්ම විවිධ ආකාරයෙන් ඒ හා සම්බන්ධ වී සිටින අතර ඒවා අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ගැටලුවේම කොටසක් බවට පත්ව තිබේ.

ගඟේ ගංවතුරෙන් අවට ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර පෙර ලිපියේ දැක්වුණු පරිදි ගංවතුර පාලන බැමි හා ගේට්ටු වල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කිරීම ඔවුන් යටතේ පවතී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇළ මාර්ග භාරව සිටින බැවින් ඒ ආශ්‍රිතව ඇති වන ගංවතුර පාලනය කිරීමද ඒ හා බැඳී පවතී. එහෙත් මේ "ආශ්‍රිත ප්‍රදේශ" මොනවාද යන්න පමණක් නොව නෛතිකව "ගංවතුර පාලනය" යන්න ඔවුන් වෙත පැවරී තිබේද යන්නත් අණ-පනත් විමසා දැනගත යුතු කාරණයකි. එබැවින්ම කොළොන්නාව ගංවතුරෙන් යට වීමට වගකිව යුත්තේ කවුද යන්න තබා ඒ ගැන විමසිය යුතු වන්නේ කාගෙන්ද යන්නත් නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නයකි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී ගංවතුරට යට වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය හදිසි ආපදා සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ අතර නිසියාකාරව ගංවතුර කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක අඩුව දක්නට ලැබුණි.

රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම හා මනා සම්බන්ධීකරණය මගින් ආපදා කළමනාකාරණය, දියුණු රටවල රාජ්‍ය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, අප කළ සංචාරයකදී දැනගත් පරිදි, දකුණු කොරියාව තුළ WINS (Water Resources Management Information System) නමින් හඳුන්වන ජලය හා සම්බන්ධ තොරතුරු පද්ධතියක් ඇති අතර මෙමගින් රාජ්‍ය ආයතන 10ක් අතර ජලය හා සම්බන්ධ තොරතුරු හුවමාරුව සිදු වේ.
දකුණු කොරියාවේ රාජ්‍ය ආයතන අතර ජලය සම්බන්ධ තොරතුරු හුවමාරුව දැක්වෙන සාරාංශයක්... (ගත්තේ, සංචාරය ගැන මා විසින්ම සකස් කළ වාර්තාවකිනි)
කෙසේ වෙතත් ගංවතුර පැමිණීම පිළිබඳ ප්‍රමාණවත් පරිදි පුරෝකථනයක් කර ගත හැකි නම් අඩු වශයෙන් ජනතාව කල් තබා දැනුවත් කිරීම හෝ සිදු කළ හැකිය (එබඳු දැනුවත් වීමකින් පසුව පවා ජනතාව සිය වාසස්ථාන වලින් ඉවත් වේද යන්න වෙනම ප්‍රශ්නයක් බව කරුණාවෙන් සලකන්න). ඒ සඳහා වර්ෂාපතන අනාවැකි සහ යම් මොහොතක ලැබෙන වර්ෂාපතනය හා ගඟේ ජල මට්ටම (real-time rainfall and water levels) පිළිබඳ විස්තර වැදගත් වේ.

එහෙත් අවාසනාවකට අප රටේ විශ්වාසදායී වර්ෂාපතන අනාවැකි පළ වන්නේ නැත. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය ගංවතුර ඇති වූ සතියේ බ්‍රහස්පතින්දා දිනය සලකමු. මෙම දිනයේ වැසි ඇති නොවන බව මෙරට කාලගුණ අංශ පෙර දිනයේ ප්‍රකාශ කළද ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි කිහිපයක්ම පෙර දින සඳහන් කර තිබුණේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. මෙරට ජනතාවට සුපුරුදු පරිදිම මෙරට කාලගුණ අනාවැකි බොරු කරමින් දැඩි වර්ෂාපතනයක් එදින ඇති වූ අතර පසුදින උදෑසන කාලගුණ අංශ ජාම බේරා ගත්තේ "සාමාන්‍ය වශයෙන් මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවටත් ස්ථාන කිහිපයක එම අගය අඩු-වැඩි වූ බවටත්" අපූරු ප්‍රකාශයක් සිදු කරමිනි (මෙය මා පසුදින උදෑසන ගුවන් විදුලි නාලිකාවක අදාල නිලධාරියකුගේ හඬින්ම විකාශය වනු ඇසූ කතාවකි). තත්ත්වය මෙසේ නම්, අප විශ්වාසදායී ලෙස වර්ෂාපතන අනාවැකියක් නිකුත් කළ හැකි මට්ටමට පත්වන්නේ කවදාද?

එමෙන්ම මෙරට වර්ෂාපතන වාර්තා නිල වශයෙන් නිකුත් කරනු තබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුවද, තවත් ආයතන ගණනාවක් සතුව වර්ෂාමාන (rain gauges) පවතී. වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මින් කිහිපයකි. දිවයින පුරා ඇති මෙවැනි වර්ෂාමාන වල වාර්තා එක්රැස් කර යම් දිනක් සඳහා වන වැඩිම වර්ෂාපතනය ප්‍රකාශයට පත් නොකිරීමෙන් ඇති වන වෙනස දැනගැනීමට පෙර පරිච්ඡේදයේ දැක්වූ උදාහරණයම අදාල කර ගත හැකිය. එම දිනය සඳහා වැඩිම වර්ෂාපතනය ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිලිමීටර් 64.1ක් (රත්නපුර) වාර්තා කරද්දී ලංකා විදුලිබල මණ්ඩලය මිලිමීටර් 78.5ක් (ලක්ෂපාන) සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව මිලිමීටර් 144.3ක් (දැරණියගල) වාර්තා කර තිබුණි. එසේ නම් දිනයට අදාලව නිල වශයෙන් වාර්තා ගත වූ වැඩිම වර්ෂාපතනය, ඇත්ත වශයෙන්ම ලැබී තිබූ අගයෙන් අඩකටත් අඩුය.

කැලණි ගඟේ ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිය යුතු තවත් කරුණක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, මාඋස්සාකැලේ හා කාසල්රී ප්‍රධාන කොට ඇති ජල විදුලි උත්පාදන ජලාශයි. ඒවායේ ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරීමට ගනු ලබන තීරණ ගඟේ පහළ කොටසේ ජල මට්ටමට සෘජු බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් කැලණි ගඟේ ඉහළ කොටස දැඩි බෑවුමක් සහිතව හා පහළ කොටස ඉතාම මෘදු බෑවුමක් සහතිව පවතින බැවින් ඉහළින් නිදහස් කරන ජල කඳ ඉතා ඉක්මණින් පහළට පැමිණෙන අතර පහළ කොටසේදී වේගය අඩු බැවින් වැඩි ප්‍රදේශයක පැතිර යාම හා ඉතා සෙමින් ජල මට්ටම පහත බැසීම සිදු වේ.
කැලණි ගඟේ ඉහළ කොටසේ ජලාශ හා බලාගාර... (ගත්තේ මෙතනින්)
කරුණු මෙසේ හෙයින්, ගංවතුර කාගේ වගකීමක් වුවද ඊට අදාල දත්ත නවීන තාක්ෂණය භාවිතා කර නිරවද්‍යව හා ඉක්මණින් ලබා ගැනීමට මෙන්ම ඒවා රාජ්‍ය ආයතන අතර නිසි පරිදි බෙදා ගැනීමටත් (data sharing) ක්‍රමවත් පද්ධතියක අවශ්‍යතාව මේ මොහොතේ හෝ යථාර්ථයක් බවට පත් කර ගැනීමට අප ක්‍රියා කළ යුතුය. අප රට තුළ පවතින යල් පැන ගිය හා ඉක්මණ් ප්‍රතිසංවිධානයක් අත්‍යවශ්‍ය පෞද්ගලික බස් ප්‍රවාහන සේවය තුළ පවා, රියදුරන් හා කොන්දොස්තරවරුන් තමන්ට ඉදිරියෙන් හා පසුපසින් ඊළඟ බසය ඇත්තේ කොතැනද මෙන්ම එය යන වේගය හා එහි සිටින මගීන් සංඛ්‍යාවත් දැන ගැනීමට ඉතා කාර්යක්ෂම ක්‍රම ඔවුන් විසින්ම සකසා ගෙන ඇති සමයක, ගංවතුර වැනි ප්‍රධාන පෙළේ ආපදාවක් කළමනාකරණය කර ගැනීමට තොරතුරු පද්ධතියක් සකස් කර ගැනීමට රජයට නොහැකි නම් එය ලැජ්ජාවට කරුණකි.

Saturday, June 4, 2016

කොළඹ ගංවතුර - 1

මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් මාතෘකාවක් වී ඇත්තේ පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයයි. විශේෂයෙන්ම කොළඹ ගංවතුර පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර එහි ප්‍රධාන තැනක්, "රාවය" පුවත්පතේ පළ වූ ලිපියක් හා ඊට සබැඳි මෙන්ම බාහිර "ෆේස්බුක් පෝස්ට්" හරහා, "මුට්වෝල් ටනල්" වෙත හිමි වී ඇත. මාගේ මෙම ලිපියේ අරමුණ, "මුට්වෝල් ටනල්" ගැන මෙන්ම ඉන් ඔබ්බට ගොස් සමස්තයක් ලෙස කොළඹ ගංවතුර තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමයි.

මෙම ලිපිය සඳහා මා "කොළඹ" යනුවෙන් හඳුන්වන්නේ කොළඹ දිස්ත්‍රික්කය හෝ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නොව, වපසරියෙන් ඒ දෙක අතරමැද පවතින ප්‍රදේශයක් වන අතර, පහසුව තකා එය මෙසේ හඳුනාගනිමු.
  • උතුරින් - කැලණි ගඟ
  • බස්නාහිරින් - ඉන්දියන් සාගරය
  • දකුණින් - දළ වශයෙන් "හයිලෙවල්" පාර - නුගේගොඩ - කළුබෝවිල හරහා දෙහිවල දක්වා පාර
  • නැගෙනහිරින් - දළ වශයෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය

මෙම ලිපියට පාදක වන කොළඹ... (ගත්තේ මෙතනින්)
මෙම ප්‍රදේශය, වැසි ජලය බැස යන ආකාරය අනුව, ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
  1. කැලණි ගඟේ ජල ගැලුම් නිම්නය ලෙස පවතින කොළොන්නාව ප්‍රදේශය
  2. සෘජුවම ඉන්දියන් සාගරය වෙත ජලය බැස යන මුහුදුබඩ ප්‍රදේශය
  3. සෘජුවම බේරේ වැව වෙත ජලය බැස යන ප්‍රදේශය
  4. කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණිය (Metro Colombo Basin) ලෙස තාක්ෂණිකව හඳුනා ගන්නා, ඉතිරි ප්‍රදේශය (මෙම කොටස් හතරින් විශාලම කොටස)

මෙම කොටස් හතරින් 2 හා 3 ලෙස දක්වා ඇති කොටස් ඉතා විශාල ඒවා නොවන අතර, ඒවායේ ඇති වන ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මාර්ග අයිනේ ඇති ජලය බැස යාමේ කාණු පද්ධති හා අනෙකුත් කුඩා කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොවීම හේතුවෙන් ස්ථානීය වශයෙන් ඇති වන ගංවතුරයි (local flooding).

එබැවින්, ප්‍රධාන ගංවතුර තත්ත්වයන්ට ලක් වීමේ අවදානම ඇති 1 හා 4 යන කොටස් වෙත පමණක් මෙම ලිපිය තුළින් සාකච්ඡා කරමි. එම කොටස් දෙකෙහි ගංවතුර සඳහාද අනන්‍ය හේතූන් පැවතීම, තාක්ෂණික ඇසකින් මේ දෙස බලන අප වැනි අයට එය අවබෝධ කර ගැනීමට හා ඒ සඳහා පිළියම් සෙවීමට පහසුවක් ඇති කරන නමුත්, ඊට පිටතින් සිට මේ දෙස බලන අය ව්‍යාකූලත්වයට පත් කිරීමට සමත් වී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර

කැලණි ගඟේ ගංවතුරින් අවට ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය යුගයේදී පමණ ගඟේ වම් ඉවුර (කොළඹ දිස්ත්‍රික්කය) හා දකුණු ඉවුර (ගම්පහ දිස්ත්‍රික්කය) සඳහා ගංවතුර ආරක්ෂණ බැමි සහ ගේට්ටු පද්ධතියක් ඉදි කරනු ලැබ ඇත. මෙම ආරක්ෂණ පද්ධති මගින් කැලණි දකුණු ඉවුර, ආසන්න වශයෙන් පෑලියගොඩ සිට පූගොඩ දක්වාත් වම් ඉවුර, ආසන්න වශයෙන් ග්‍රෑන්ඩ්පාස් සිට කලුඅග්ගල දක්වාත් ආරක්ෂා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම මෙය තනි බැම්මක් ලෙස දැකිය නොහැකි අතර උස් බිම් යා කරමින් තැනින් තැන ඉදි වූ බැමි (මීට වම් ඉවුරේ වරාය සිට ඔරුගොඩවත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයට සමාන්තර බැම්මද අයත් වේ) සහ ස්වාභාවික ඇළ මාර්ග ගඟට වැටෙන ස්ථාන වල ඉදි කරන ලද ගේට්ටු වලින් එය සමන්විත වේ.

කෙසේ වෙතත්, දකුණු ඉවුර හා වම් ඉවුර සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් නම්, දකුණු ඉවුරේදී ආරක්ෂණ බැම්ම ගං ඉවුරට ඉතා ආසන්නයෙන් ඊට සමාන්තරවම දිවෙන මුත් වම් ඉවුරේ එක්තරා කොටසකදී බැම්ම සැලකිය යුතු ලෙස ගොඩබිම දෙසට වන්නට ඉදි වී තිබීමයි. එකල එබඳු තීරණයක් ගැනීමට හේතුවක් නිශ්චිතව නොදන්නා මුත් ඒ වන විට කැලණිය ආශ්‍රිත දකුණු ඉවුර ජනාකීර්ණවද කොළොන්නාව ආශ්‍රිත වම් ඉවුර බොහෝ දුරට ජනශුන්‍යවද පවතින්නට ඇතැයි සිතිය හැකිය. කොළොන්නාව ප්‍රදේශයේ භූමියේ උසද ඉතා අඩු මට්ටමක පැවතීම තුළ, ස්වාභාවිකවම මෙන්ම ප්‍රතිපත්තිමය තීරණයක් මතද එය කැලණි ගඟේ පහළ කොටසෙහි ජල ගැලුම් නිම්නය බවට පත්ව ඇත.

එහෙත් පසුකාලීනව, කොළඹට ඉතා ආසන්නව පිහිටීම නිසා භූමියේ අගය වැඩි වීමත් නිසි සැලසුමක් රහිත නාගරීකරණයත් දේශපාලනික බලපෑමත් නිසා අතිශය ජනාකීර්ණ වූ කොළොන්නාවට, කැලණි ගඟේ ඉහළ ජලාධාරයන්ට අධික වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී ගංවතුර ඇති වීම අනිවාර්ය සිද්ධියක් වන අතර මෙවර කොළොන්නාව ආශ්‍රිතව ඇති වූයේද එම තත්ත්වයයි. එලෙස ගඟේ ජලය ඉවුරු තලා නොගියද ස්වාභාවිකව පහත් බිමක් වීම හේතුවෙන් කොළොන්නාවට යම් ඉහළ මට්ටමක වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී පවා එම ජලය වේගවත්ව බැස යාමට ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යට වීම සිදු වේ.
කොළොන්නාවට මෙවර බල පෑ ගංවතුර... (ගත්තේ මෙතනින්)
මෙම තත්ත්වය මග හැරවීමට නම් එක්කෝ කොළොන්නාව මිනිස් ජනාවාසයක් ලෙස පිළිගෙන කැලණි ගඟේ වම් ඉවුරු බැම්මේ මට්ටම එසවීම මගින් හා ඇතුළත එක්රැස් වන ජලය ඉවත් කිරීමට පොම්පාගාර (එකක් හෝ කිහිපයක්) යෙදීම මගින් එම ප්‍රදේශය ගංවතුරින් මුදා ගත යුතුය. වම් ඉවුරේ මට්ටම එසවීම අනිවාර්යයෙන්ම ගඟේ ඉහළ ජලාධාරයන්ට පමණක් නොව නුදුරුවම ඇති දකුණු ඉවුරු බැම්මට හා ඉන් ආරක්ෂා කරනු ලැබ ප්‍රදේශයන්ට සෘජුවම ඇති බලපාන බැවින් එය සිදු කළ යුත්තේ මුළු ගං ද්‍රෝණියම ආවරණය වන පරිදි සිදු කරන විස්තරාත්මක අධ්‍යයනයකින් පසුව පමණකි. අනෙක් විකල්පය වන්නේ කොළොන්නාව ගඟේ ස්වාභාවික ජල ගැලුම් නිම්නය ලෙස පිළිගෙන එහි ජීවත් වන ජනතාව (ඉතා පහත් බිම් වල වෙසෙන්නන් පමණක් හෝ) ඉන් ඉවත් කර සුදුසු ස්ථානයක පදිංචි කරවීමයි. මේ දෙකම ඉතා වියදම් අධික සහ වෙහෙසකර ව්‍යායාමයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් මේ අන්තයන් දෙකින් එකක් තෝරා ගැනීම හැර "මැද මාවතක" විසඳුමක් මේ සඳහා නොමැති බව මාගේ විශ්වාසයයි.


"කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණියේ" ගංවතුර ගැන මීළඟ ලිපියෙන්...