Wednesday, July 9, 2014

කොළොම්තොට - 2 - ඉතිහාසයේ බල අරගල මැදින්

මෙහි මුල් කොටස මෙතනින් බලන්න.

1505දී ලංකාවට පැමිණි පෘතුගීසීන් එවකට කෝට්ටේ පාලකයා වූ VIII පරාක්‍රමබාහු රජු වෙතින් කොළඹ නගරයේ පාලන බලය ලබා ගත්තේ ඒ වෙනුවෙන් කෝට්ටේ රාජධානියේ මුහුදු සීමාව ආරක්ෂා කර දෙන බවට පොරොන්දු වෙමින්. කෙසේ වෙතත් ඉන්දියන් සාගරයේ සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා කොළඹ නගරයේ බලය රැකගැනීම අතිශයින් වැදගත් වන බව වටහා ගත් ඔවුන් ඒ සඳහා කොළඹ කොටුව ඉදිකිරීම 1517දී ආරම්භ කර තිබෙනවා. ඒ වගේම කොළඹ කොටුව ගොඩබිමින් ආරක්ෂා කර ගැනීම සඳහා 1554දී ඔවුන් විසින් වේල්ලක් ඉදි කර ඇති අතර (අදටත් වේල්ල වීදිය නමින් හැඳින්වෙන පාරක් කොළඹ තියෙනවා දන්නවද?) ඒ අනුව ඒ කාලයේ කොළඹ කොටුවෙන් පිටත ප්‍රදේශය වගුරු බිමක ස්වභාවයෙන් පැවතුණා වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මෙම වේල්ල ඉදි කිරීම හරහා බේරේ වැවට හා ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතියට මුල් පදනම වැටුණා විය හැකියි.
කොළඹ ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි බේරේ වැව (ගත්තෙ මෙතනින්)
බේරේ වැව හා කොළඹ ඇළ මාර්ග පද්ධතිය ගැන නම් වෙනමම ලිපියක් ලියන්නට සිදු වෙනවා. කොහොම වුණත් සීතාවක රජ කළ මායාදුන්නේ රජු හා එතුමන්ගේ පුත් I රාජසිංහ රජු (ටිකිරි කුමරු) දැඩි ලෙස පෘතුගීසීන්ට විරුද්ධව කටයුතු කළ බවත් එම කාලයන්හිදී සිංහල හමුදාවන් කිහිප වරක්ම කොළඹ නගරය ආක්‍රමණය කළ බවත් ඉතිහාසයේ දැක්වෙනවා.

අනතුරුව 1656දී කොළඹ නගරය ලන්දේසීන් අතට පත්වන්නේ ඔවුන් හා එවකට මහනුවර රජ කළ II රාජසිංහ රජු අතර ඇති වූ සුප්‍රකට "ඉඟුරු දී මිරිස් ගත්" ආකාරයේ ගිවිසුම හේතුවෙනුයි. 1796දී බ්‍රිතාන්‍යයන් පැමිණෙන තුරුම ඔවුන් අත්පත් කරගත් ප්‍රදේශ ගිවිසුමට අනුව මහනුවර රාජධානියට බාර නොදී තමන් සන්තකයේම තබාගත්තා. ලන්දේසීන් හා කොළඹ සම්බන්ධ කෙරෙන ස්ථාන කිහිපයක්ම අදටත් ඉතිරිව පවතින අතර ඒ අතරින් කොළඹ කොටුවේ ලන්දේසි රෝහල (Dutch Hospital) මේ වන විට වෙළෙඳ සංකීර්ණයක් බවට පරිවර්තනය කර තිබෙන්නේ එහි ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණ ඉතිරි කරමින්.
ලන්දේසි රෝහලේ අද පෙනුම (ගත්තෙ මෙතනින්)
පෘතුගීසීන් හා ලන්දේසීන් යන දෙකොටසම කොළඹ නගරය හමුදාමය බල කඳවුරක් ලෙසින් පවත්වාගෙන ගියා විනා ඉන් ඔබ්බට කොළඹ නගරය දියුණු කිරීමට කටයතු කළේ නැහැ. නමුත් ඉංග්‍රීසීන් 1796දී කොළඹ නගරයේද 1815දී මුළු රටේමද පාලන බලය අත්පත් කරගැනීමට සමත් වූ බැවින් කොළඹ නගරය සිය "බ්‍රිතාන්‍ය ලංකාවේ" අගනුවර ලෙස සංවර්ධනය කිරීමට ඔවුන් උත්සුක වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ ගොඩනැගිලි, රාජ්‍ය ආයතන මෙන්ම මහාමාර්ග හා ප්‍රවාහන පහසුකම්ද කොළඹ නගරය තුළ ඇති කිරීමට ඔවුන් පියවර ගත්තා. එපමණක් නොව බ්‍රිතාන්‍යයන් විසින් සිය පරිපාලන ක්‍රමයන්ද මෙරට ස්ථාපිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කොළඹ මහනගර සභාව බිහි වන්නේ 1865 තරම් ඈත අතීතයේදී.

නිදහසින් පසු කාලය තුළ කොළඹ නගරය අති දැවැන්ත ලෙස වෙනස් වීමකට ලක් වුණත් ඉන් සැලකිය යුතු කොටසක් අවිධිමත් ආකාරයට සිදු වීමේ පල-විපාක අපි දැන් අත්දකිමින් ඉන්නවා. කොහොම වුණත් වසර 500කට ආසන්න කාලයක් පැවති යුරෝපීය ආභාසය නගරයේ ගොඩනැගිලි හා ස්ථාන නාම වලින් පමණක් නොව නගර වැසියන්ගේ ආහාර-පාන, ඇඳුම්-පැළඳුම් හා සිරිත්-විරිත් වලින් සමන්විත ජීවන රටාව තුළත් තවමත් දැකගත හැකියි. එමෙන්ම අසූව දශකයේදී නිල වශයෙන් ශ්‍රී ලංකාවේ අගනුවර කොළඹින් ශ්‍රී ජයවර්ධනපුරයට රැගෙන ගියත් තවමත් ආර්ථික මෙන්ම සමාජීය වශයෙනුත් ශ්‍රී ලංකාවේ නිල නොවන අගනුවර නම් කොළඹම තමයි.

7 comments:

  1. දන්නවද අර ලන්දේසි රෝහල හොටෙල් එකක් කලේ කව්ද කියල...
    හැක්.................
    අගෙයි කස්සප

    ReplyDelete
    Replies
    1. දන්නව දන්නව :D
      ඇයි මොකුත් අවුලක්ද? :O
      ස්තූතියි මහේෂ්.

      Delete
  2. ඇත්තටම දෙවනි රාජංසිහ රජු ඉඟුරු දීලා මිරිස් නොගත්තා නම් ලංකාවෙ ඉතිහාසය කොයි වගේ ලිය වෙයිද කියලා මම කල්පනා කරන්නෙ.

    ස්තූතියි කස්සප… වටිනවා මේ ලිපි පෙළ.

    ReplyDelete
    Replies
    1. ආ... ඒක එච්චර හිතන්න එපා.
      ඔය දැනුත් ඉන්නෙ ඉඟුරු දීල මිරිස් ගන්න අය ඕනි තරම්.
      ස්තූතියි ප්‍රියා කොමෙන්ටුවට.

      Delete
  3. ඉතාමත්ම වටින ලිපි මාලාවක්.. ලියමු බේරේ හා ඕලන්ද ඇල ගැනත්. ඒවගේම කයිමන් දොරටුව ගැනත්

    ReplyDelete
    Replies
    1. ඔහොම ධෛර්යමත් කරනව නම් ලියන්න බැරියැ :D
      ස්තූතියි නලින් අයියේ.

      Delete
  4. I heard "Kaiman " means Crocodile in Dutch.

    ReplyDelete