Saturday, May 24, 2014

වට වන්දනාව

යක්කල පදිංචියට ඇවිත් ටික කාලෙකින්ම දෙයියාගේ ගෙදර අයට යක්කල වටේ ඇති වැදගත් තැන් බලන්නට යාමේ ආසාවක් ඇති වුණේය. ඈත කඳු ගැටයක් මත ඇති ලස්සන පුංචි චෛත්‍යයක් හැම වෙලේම ගෙදර එක ජනේලයකින් පෙනෙන්නට තිබීමෙන් නිරන්තරයෙන් උත්තේජනය වූ ගම්පහ දිස්ත්‍රික් ගවේෂණ මෙහෙයුම මාසික වැඩසටහනක් බවට පත් වුණේ ගෙදර වාහනයක් තිබීමත් ගෙදර ඉඳන් පොඩි වෙලාවකින් යන්න පුළුවන් ඓතිහාසික ස්ථාන රාශියක් තිබීමත් ඇවිදින්න තිබූ ආසාවත් නිසාය. පිළිකුත්තුව, මාළිගාතැන්න, වාරණ, කෑරගල, උෟරුවල, දඩගමුව, ඔය ‍වගේ පන්සල් බොහොමයක් බලා ගත්තේ ඒ මෙහෙයුමේ ප්‍රතිඵලයක් හැටියටය.

දවසක් ටීවී එකේ ලුණුගම නමැති විහාරයක් ගැන පෙන්නුවේ ඔය අතරය. එතනට යන පාර හරියටම අහගන්න බැරි වුණත් පෙන්නපු හා කියපු විස්තර වලට අනුව ගෙදර අයගේ ඒකමතික තීරණය වුණේ මෙහෙයුමේ ඊළඟ ඉලක්කය ලුණුගම බවය. ඒ අනුව කාගෙන්දෝ පාරත් අසා ගෙන උ‍දෙන්ම පිටත් වී වැලිවේරියෙන්ද මණ්ඩාවලින්ද ඔය කොහෙන්දෝ මන්දා හැරි හැරී ගියත් ලුණුගමක් පේන තෙක් මානයකට වත් එන්නට බැරි වුණේය. එක සැරයක් පාර අයිනේ කෙනකුගෙන් ඇසූ විට "ඔය ඔතනින් හැරුණම තව චුට්ටයි" යනුවෙන්ද තවත් හැතැම්මකටත් වඩා ගොස් තවත් කෙනකුගෙන් ඇසූ විට "ආ ඔය වංගුව හැරුණ ගමන් පන්සල පේනවා" යනුවෙන්ද පිළිතුරු ලද මුත් පන්සලක් නම් පෙනෙන්නට තිබුණේ තවත් වංගුත් ගසා පැය බාගයක පමණ කාලයකුත් ගෙවා දැමීමෙන් පසුවය. මොන ගමනක් ගියත් පාර මතක හිටින දෙයියාට ඒ ගිය පාර නම් කොහොමටවත් මතක හිටියේ නැත්තේ එච්චරම රවුමක් ගැසූ නිසා විය යුතුය.

එ‍්ත් එතනට ගිය විට එය ඓතිහාසික වැදගත්කමක් ඇති තැනක් බව හඳුනා ගන්නට නාම පුවරුවක්වත් අසන්නට කෙනකු වත් හොයා ගන්නට නොවීය. කරන්නට වෙනත් කිසිවක් නොවූ තැන අලුතින්ම ගැසූ වහලයක් පෙනනෙන්නට තිබූ බුුදු ගෙය වෙත ගොස් ආගමික වතාවත් කර එතැනින් අප පිට වී ගියත් එදා අප ගියේ ඒ ඓතිහාසික වටිනාකමක් ඇතැයි කියන ඇත්තම ලුණුගම පන්සලටද යන්න වත් අද වෙනකම්ම නොදන්නා අතර අපේ ගම්පහ දිස්ත්‍රික් ගවේෂණ මෙහෙයුමද ඒ ගමනින්ම අවසන් වුණේය.

බලාපොරොත්තු වූවාට වඩා රවුමක් ගසන්නට ගොස් වෑන් එකේ ඩීසල් ඉවර වූ බැවින් ඩීසල් ගසන්නට ගොස් සිදු වූ අකරතැබ්බය පස්සෙ ලියන්නම්... ඒත් ඊට කළින්...

ප.ලි. 01
ලුණුගම මෙහෙයුම එහෙම පිටින්ම අසාර්ථක වීමත් සමග දෙයියාගේ ඒකමතික තීරණය වුණේ "එහෙනම් ඕක ඔය කියන තරම් වැදගත් තැනක් නෙවෙයි" යන්නය. ඒ නිගමනය සුණු විසුණු වුණේ අපේ රටේ පුරාවිද්‍යා කටයුතු ගැන ඇඬෙන විග්‍රහයක් සමග ලුණුගම ගැන කප්පරක් තොරතුරු ලියා තිබූ සිංහල විකිපීඩියාවේ මේ ලිපිය ඊයෙ පෙරේදා කියවීමත් සමගය.

ප.ලි. 02
ඔච්චර වැදගත් පන්සලක් තමන්ගේ ප්‍රදේශයේ තියාගෙනත් පිටින් කෙනෙක් පැමිණ පාර අහන විට මේ අහන්නේ ඒ පන්සල ගැන යැයි මිනිස්සුන්ට තේරුම් නොයන්නේ ඔය උඩ ලිපියේ තියෙන විදියටම පුරාවිද්‍යා අංශ මගින් ඉටු කර ඇති අගනා කාර්ය භාරය නිසාම විය යුතුය.

6 comments:

  1. DEIYAN WAHAN SE YAKKALA KOI HARIYEDA INNE

    ReplyDelete
    Replies
    1. සියනෑ උයන කියන ඉසව්වෙ ආයිබෝවන්ඩ...

      Delete
  2. කතාවට නං කියන්නෙ වන්නි හැතැප්ම(නැත්තං රබර් හැතැප්ම) කියල
    ඒ කියන්නෙ ඒ පැත්තෙ අයගෙන් තැනකට ඇති දුර අහපුවාම ආ තවි හැතැප්මයි නෙ... නැත්තං ආ සුට්ට දුරයි කියනව...
    ඒත් යන්න ගිහාම තමා එපා වෙන්නෙ... හැතැප්ම විස්සක් තිබ්බත් හැතැප්මයි කියලනෙ කියන්නෙ... ඒ වගේනෙ...
    බලං ගියාම වන්නියෙ විතරක් නෙවී ගම්පහත් වන්නි හැතැප්ම තමා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. රබර් හැතැම්ම අහල තිබුණට වන්නි හැතැම්ම අදමයි ඇහැව්වේ :D
      කොයි පැත්තෙත් තියෙන්න පුලුවන් මගෙ හිතේ...
      ඒවට හරි යන මිනිස්සු ඉන්න කොට...

      Delete
  3. විකියේ මාර තොරතුරු ගොන්නක් ම තියනවනේ.. ස්තුතියි මචෝ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තමයි මාත් හිතුවෙ නෑ එච්චර විස්තර ඇති කියල...
      ඒ විස්තර දාපු කෙනා කවුරු වුණත් ගොඩක් හොඳ වැඩක් කරල තියෙනව මහන්සි වෙලා...

      Delete