Friday, June 13, 2014

අයියෝ සල්ලි

මේ පහළ තියෙන්නෙ දැන් කාලෙකට කලින් මම (ඒ කාලෙ පටන් අරන් අතරමග නවත්තපු) බ්ලොග් එකට ලියපු පෝස්ට් එකක්. කවදාවත් මේක පළ කරන්න බැරි වුණා විතරක් නෙවෙයි අනුන්ට කියල දෙන්න ගියාට මමම කෙළව ගත්ත මේ සබ්ජෙක්ට් එක. ඒ වුණාට මෙච්චර මහන්සියෙන් ලියපු එක නිකම්ම මකල දාන්නත් දුකයි. ඔන්න ඔහෙ පබ්ලිෂ් කරල දානව. අපරාදෙ මේව ටයිප් කරන්න ගිය වෙලාවයි මහන්සි වෙච්ච ඇඟිලියි. පොතක් ලියල විකුණගන්න තිබුණ. අයියෝ සල්ලි :(
ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් පුරා පැවතුණු අයහපත් තත්ත්වය අවසන් වීමත් සමග කොළඹ කොටස් වෙළෙඳපොළ කාගෙත් කතාබහට ලක්වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ආර්ථික වර්ධනයේ කොටස්කරුවකු වීමේ බලාපොරොත්තුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින් විශාල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරමින් සිටිනවා. මේ සමග පසුගිය වසර එක හමාරක පමණ කාලය පුරාවටම අපට වාර්තා වුණේ කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයන් වාර්තා තබමින් ඉහළ යන බවයි.
නමුත් කණගාටුවෙන් වුවත් සඳහන් කරන්න සිදුවෙන්නේ කොටස් වෙළෙඳපොළ පිළිබඳ අප රටේ ජනතාව තුළ පවතින දැනුම ඉතා දුර්වල මට්ටමක තියෙන බවයි. විශේෂයෙන්ම බොහෝ දෙනා සිතන්නේ මෙය මහා පරිමාණ ආයෝජකයන්ට සීමා වුණු තැනක් කියලා. ඒ වගේම තවත් අය සිතන්නේ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වාණිජ කටයුතු පිළිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍ය කරන ඉතා සංකීර්ණ කටයුත්තක් හැටියටයි. මා දකින හැටියට මෙයට හේතු වී ඇත්තේ ආයෝජන අවස්ථා ගැන ජනතාව දැනුවත් කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් නොමැති වීමයි. කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් හා විවිධ ජනමාධ්‍ය මගින් විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළත් ඒවායින් එතරම් සාර්ථකත්වයක් අත්වී ඇති බවක් පෙනෙන්නට නැහැ.
ඇත්තටම මමත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගැන අවධානය යොමු කරන්න පටන් ගත්තේ යුද්ධය අවසන් වීමත් සමග එහි ඇතිවූ දැවැන්ත වර්ධනය නිසයි. මට කොටස් වෙළෙඳපොළ සම්බන්ධයෙන් තියෙන්නේ සාමාන්‍ය පෙළ ව්‍යාපාර අධ්‍යන්‍යය විෂයයේදී ලබා ගත් දැනුම විතරයි. නමුත් මම විවිධ මූලාශ්‍ර මගින් මේ ගැන ඉගෙනගන්න උත්සාහ කළා. ඒ වගේම නිතර නිතර කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියට ගිහින් අලුත්ම තත්ත්වය සොයා බැලුවා. මම විශේෂයෙන් කියන්න ඕනෙ මේ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවිය ඉතාම ප්‍රයෝජනවත් එකක් බව. එමගින් කොටස් වෙළෙඳපොළේ  කටයුතු ගැන දැනුම් සම්භාරයක් ලබා ගන්න පුලුවන්.
කොළඹ කොටස් වෙළෙඳපොළ යනු ලැයිස්තුගත සමාගම්වල සුරැකුම්පත් (කොටස්) මිළ දී ගැනීමට සහ විකිණීමට ආයෝජකයන්ට ශ්‍රී ලංකා‍වේදී අවස්ථාව ලැබෙන එකම ස්ථානයයි.
ලැයිස්තුගත සමාගමක් යනු මහජනතාවට සිය කොටස් නිකුත් කිරීම මගින් ප්‍රාග්ධනය සපයා ගැනීමට අවසර ඇති, ඒ සඳහා ලියාපදිංචි වී ඇති සමාගම් වේ. මෙම අවසරය ලබා දී ඇත්තේ, කොළඹ කොටස් වෙළෙඳපොළ අධීක්ෂණය කිරීමේ හා නියාමනය කිරීමේ බලයලත් ආයතනය වන ශ්‍රී ලංකා‍ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසිනි. මෙම අවසරය ඕනෑම සමාගමකට ලබා ගත නොහැකි අතර, ඒ සඳහා ලැයිස්තුගත කිරීමට පෙර වසර කිහිපයකදී සමාගම ලාභ පෙන්වා තිබිය යුතු වීම වැනි මූලික අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුය. විශේෂයෙන්ම ලැයිස්තුගත කරන ලද සමාගම් මහජනතාවට කොටස් නිකුත් කිරීම සිදු කරන බැවින් එම කොටස්වල ආයෝජනය කරන මහජනතාව අපහසුතාවයන්ට පත් වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා‍ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නිරතුරුව ක්‍රියා කරයි. දැනට ශ්‍රී ලංකා‍වේ ලැයිස්තුගත සමාගම් 240කට අධික සංඛ්‍යාවක් ඇත.
සුරැකුම්පතක් යනු ලැයිස්තුගත සමාගමක් විසින් නිකුත් තරනු ලබන, එහි ප්‍රාග්ධනයෙන් කිසියම් කොටසකි. කොළඹ කොටස් වෙළෙඳපොළේ හුවමාරු වන සුරැකුම්පත් වර්ග ගණනාවක් ඇත.
  1. ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares) - N
  2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් (Ordinary Non-voting Shares) - X
  3. කොටස් බලපත්‍ර (Warrants) - W
  4. හිමිකම් නිකුතු (Rights Issues) - R
  5. ප්‍රසාද නිකුතු (Bonus Issues) - B
මේ එක් එක් සුරැකුම්පත් වර්ගය පිළිබඳ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. ඊට පෙර කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙහි ඇති ලක්ෂණ පහත පරිදි දැක්විය හැකිය.
  • ද්‍රවශීලතාව වැඩි ය. එනම් ඔබ මිළදී ගෙන ඇති කොටස්, මුදල් බවට පත් කර ගැනීමේ හැකියාව වැඩිය.
  • ප්‍රතිලාභ වැඩි ය. මෙයින් මා අදහස් කරන්නේ, සාමාන්‍ය ආයෝජකයකුට ඇති ආයෝජන විකල්ප (Investment Options) සමග සංසන්දනය කිරීමේදී වැඩි ප්‍රතිලාභයක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයෙන් ලැබිය හැකි බවය.
  • ප්‍රතිලාභ වැඩි ආයෝජනයකදී අවදානමද වැඩිය. නමුත් තම ආයෝජන නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් අවදානම අවම කර ගත හැකිය. එහෙත් සාම්ප්‍රදායික ආයෝජන ක්‍රම (උදා - බැංකු තැන්පතු) වලදී මෙන් නොව, තමන් සිදු කර ඇති ආයෝජන සහ තමන් ඉදිරියේ ඇති අනෙකුත් අවස්ථා පිළිබඳව නිරතුරුව අවධානයෙන් සිටීම අවශ්‍ය වේ.
  • උපයන ආදායම්, බදු වලින් නිදහස් ය.
 ඔබ කොළඹ කොටස් වෙළෙඳපොළේ වෙබ් අඩවියට පිවිස එහි ලැයිස්තුගත කර ඇති සමාගම් පිළිබඳ විමසා බැලුවහොත්  එහි සෑම සමාගමකටම හිමි කේතයක් (ඉංග්‍රීසි අකුරු 3ක හෝ 4ක) දැකිය හැකි අතර, එම කේතයට ඉදිරියෙන් තවත් ඉංග්‍රීසි අකුරක්ද දැකිය හැකිය. මෙම අකුර මගින් එම සුරැකුම්පතේ වර්ගය නිරූපණය කරයි.
ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් (Ordinary Voting Shares) - N
කොටස් වෙළෙඳපොළේ  බහුලවම දැකිය හැකි කොටස් වර්ගය වන මෙය, සෑම සමාගමක් විසින්ම පාහේ නිකුත් කොට ඇති අතර බොහෝ විට සමාගමක් නිකුත් කරන්නේද මෙම කොටස් වර්ගය පමණි. මෙම කොටස් හිමියන්ට සමාගමේ හිමිකාරත්වය ලැබෙන අතර සමාගමේ මහ සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ බලයද හිමි වේ. තවද සමාගමක් ලාභාංශ ප්‍රකාශයට පත් කරන අවස්ථාවකදී (එනම් සිය ලාභයෙන් කොටසක්, කොටස් හිමියන් අතර බෙදා හැරීමේදී) තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව ලාභාංශ ලැබීමටද මෙම කොටස් හිමියන්ට අවස්ථාව ලැබේ.
ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් (Ordinary Non-voting Shares) - X
මෙම කොටස් හිමියන්ට, සමාගමේ මහ සභා රැස්වීම්වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය හිමි නොවන අතර ඉහතින් දැක්වූ ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් හිමියන්ට හිමි වන සෙසු සියලු අයිතීන් හිමි වේ.
කොටස් බලපත්‍ර (Warrants) - W
කොටස් බලපත්‍රයක් යනු, අනාගතයේ නිශ්චිත දිනකදී නිශ්චිත මිළකට යම් සමාගමක කොටස් මිළ දී ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේ දී නිකුත් කරන ලියවිල්ලකි. සමාගමක අනෙකුත් කොටස් හුවමාරු වන ආකාරයටම, කොටස් බලපත්‍රද මිළ දී ගැනීම හා විකිණීම සිදු කළ කළ හැකිය.
හිමිකම් නිකුතු (Rights Issues) - R
දැනට කිසියම් සමාගමක කොටස් හිමියන් හට, තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව තවත් කොටස් ප්‍රමාණයක්, නිශ්චිත මිළකට (සාමාන්‍යයෙන් එම සමාගමේ කොටසක වත්මන් වෙළෙඳපොළ අගයට වඩා අඩු මුදලකට) ලබා දීම, හිමිකම් නිකුතුවක් ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස XYZ සමාගම 10:1ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත් කළේ නම් ඉන් අදහස් වන්නේ සෑම කොටස් හිමියකුටම තමන් සතු කොටස් 10ක් වෙනුවෙන් තවත් කොටසක්, අඩු මුදලකට හිමි වන බවයි.
ප්‍රසාද නිකුතු (Bonus Issues) - B
මෙයද, හිමිකම් නිකුතු මෙන්ම, දැනට කිසියම් සමාගමක කොටස් හිමියන් හට තමන් සතු කොටස් ප්‍රමාණයට සමානුපාතිකව නිකුත් කරනු ලබන කොටස් නිකුතුවක් වන නමුත් මෙහි ඇති විශේෂත්වය ‍වන්නේ ‍මෙම කොටස් නොමිළේ නිකුත් කිරීමයි.
ඔබ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබට සෘජුවම එය සිදු කළ නොහැකි අතර ඒ සඳහා කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයේ (Central Depository System - CDS) ගිණුමක් විවෘත කර ගත යුතුය. මධ්‍යම තැන්පතු ක්‍රමය යනු කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කරන සියලුම ආයෝජකයන් වෙනුවෙන් ගිණුම් පවත්වා ගෙන යන ආයතනයයි. මෙම CDS ගිණුම විවෘත කිරීමට ඔබට කිසිදු මුදලක් වැය නොවේ. දැනට කොළඹ කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි තැරැව්කාර සමාගම් 22ක් ඇති අතර ඔබ‍ගේ පහසුව තකා ඒවායේ වෙබ් ලිපිනයන් පහත දක්වා ඇත.

11 comments:

  1. ඉතාමත්ම වටිනවා. මේ සම්බන්ධ මගේ දැනුම ඉතාමත්ම අල්පයි. ඒත් මේ ලිපිය කියෙව්වට පස්සේ කොටස් වෙළදපලේ පොඩි ගනු දෙනුවක් කිරීමේ ආසාවකුත් ආවා.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට. ඒත් පරිස්සමින් කරන්න ඕනි දෙයක් මේක. නැත්නම් මං වගේ අත පුච්ච ගන්න තමයි වෙන්නෙ :(

      Delete
  2. කෙනෙක්ට කොටස් වෙළද පලට ඇතුල් වෙන්න ආසාවක් තියෙනව නං මේවිස්තර ඇත්තටම ප්‍රමාණවත් කියල හිතෙනව...සරල සවිස්තරාත්මක ලිපියක්..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ වුණාට මං අනිත් අයට උපදෙස් දුන්නට මට කෙළ වුණානෙ :(

      Delete
    2. ඒ් ෙකළවුණු විස්තරත් දාන්න මෙචා්.

      Delete
    3. මම ඕකට අතගැහුවෙ 2011 මුල හරියෙ වගේ. ඒ කියන්නෙ යුද්දෙ ඉවර වෙලා මාකට් එක හොඳටම නැගගෙන ආවනෙ. ඒ නැග්ම ඉවර වෙන්න ළං වෙලා තමයි මම ඕකට සෙට් වෙලා තියෙන්නෙ. එතකොට ගොඩක් ඒව මම අරන් තියෙන්නෙ ඉහළ අගයකට ළං වුණ වෙලාවක. ඒව ටික කාලයක් තියාගෙන තව ගණන් ගියාම විකුණනව කියල හිතා ගත්තට දිගටම අගය අඩු වුණ එක විතරයි වුණේ. ඔය අස්සෙ එක එක්කෙනාගෙ වෙන වෙන ගේමුත් ගියානෙ මාකට් එකේ. වැඩකට නැති කොටස්වලට බොරු ඉල්ලුමක් ඇති කරල ඒ ගැන දන්නෙ නැති සාමාන්‍ය මිනිස්සුන්ව ගොනාට අන්දවල ඒව වැඩි මිලට ගන්න පොළඹවන ඒව එහෙම. ඔය වගේ ඒව දන්නෙ නැතුව ආයෝජනය කළාම කෙළවගන්න තමයි වෙන්නෙ.

      Delete
  3. ලිපිය හොඳයි ... කොටස් වෙළඳපොළට සෙට් වෙලා තියෙන්නේ වැරදි කාලෙදි, තව අවුරුද්දක් දෙකක් කලින් සෙට් උනානම් ගොඩ යන්න තිබ්බා.. දැන්නම් වැඩිපුර වෙන්නේ අර කියලා තියන විදිහට වෙන වෙන ගේම් තමයි.. මේ කලේ ආයෝජනය කරනවානම් ගොඩක් පරිස්සමෙන්, හොයලා, බලලා කරන්න.. ලිපිය පරණයි කියලා තියෙනවනේ, තැරව්කාර සමාගම් ගැන විස්තර දැන් පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා.. දැන් සමාගම් 28 ද කොහෙද තියනවා..

    ReplyDelete
  4. ඔව් මාටත් හිතෙනව වැරදි කාලෙදි සෙට් වෙලා තියෙන්නෙ කියල. දැන් ඉතින් Exit Strategy එකක් හොයනව :P
    ලිපිය අප්ඩේට් නැතුව ඇති. මම මුලදිම කියල තියෙන විදියට ගොඩක් කාලෙකට කලින් ලියල පබ්ලිෂ් නොකරපු ලිපියක් තමයි ඒ විදියටම දැම්මෙ.

    ReplyDelete
  5. ♣♣♣♣♣♣

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete