Thursday, October 2, 2014

පාවෙන කඩේ සහ කොළඹ කාක්කෝ

මම කාක්කෙක්. හැබැයි නිකම්ම කාක්කෙක් නෙවෙයි. කොළඹ කාක්කෙක් හරිය.

අපි ඉතින් අතනිනුයි මෙතනිනුයි හැම තැනින්ම අහුවෙන ජරාවක් කාල ජීවිතේ ගැට ගහගත්ත අහිංසක කාක්කොනෙ. මොකෝ කොළඹ කියල අපට සුපිරි කෑම ලැබෙන එකක්යැ.

ඒත් දැන් කොළඹ සෑහෙන්න වෙනස් වෙලානෙ. ජරාවට තිබුණ තැන් ගොඩක් දැන් ලස්සන වෙලා. ඉස්සර ව‍ගේ නෙවෙයි දැන් කොළඹ‍ට එන මිනිස්සුන්ට වුණත් බලන්න යන්න, විවේකයක් ගන්න, කන්න බොන්න කොච්චර තැන් තියෙනවද. ඕවයින් ඔය අන්තිමට කියපු තැන් තමයි අපට ගොඩක්ම වැදගත්. මොකද අපි ඉතින් මිනිස්සු කාල ඉතුරු වෙච්ච දෙයක් කාල ඉන්න කාක්කොනෙ.

ඉතින් කොළඹ අපට දැන් හොඳට කන්න අලුත්ම තැනක් ලැබිල තියෙනව. පිටකොටුවෙ ප‍ාවෙන කඩේ. මේ දවස් ටිකේ සෙට් එකත් එක්ක මම එතනම තමයි ඉන්නෙ. මොකද ඉතින් දවසකට දෙනෝදාහක් මිනිස්සු ගැවසෙන පිටකොටුවෙ හොඳට කෑමක්වත් කන්න කියල මිනිස්සුන්ට තියෙන තැන නිසා කොයි වෙලෙත් කෑම කන්න එන මිනිස්සුන්ගෙන් අඩුවක් නෑනෙ මෙතන.
මෙතන තමයි අපේ තැන...  (ගත්තෙ මෙතනින්)
හැබැයි ඉතින් මෙතන මිනිස්සුන්ට කාල ඉතුරු වෙන කෑම දාන්න වෙනම භාජනත් තියල හැම ගහකම බෝඩ් එකකුත් ගහල තියෙන්නෙ ඉතුරු වෙන ඒව ඒ භාජන වලටම දාන්න කියල. ඒව නිතර නිතර පිරිසිදු කරන්න අංකල්ල ඇන්ටිල කට්ටියකුත් වෙනම දාලයි තියෙන්නෙ.

කාල බීල ඉවර වෙච්ච කට්ටිය ඉතුරු වෙච්ච ඒව හරියටම ඒ භාජන වලටම දාල යන්න යනව. ඔන්න ඕකනෙ බැරි ඉතින්. එතකොට අපි කන්නෙ කොහොමද.

හැබැයි මේ ළඟදි දවසක මරු වැඩක් වුණා. හතර දෙනෙක්ගෙ පවුලක් ඇවිත් ෆ්‍රයිඩ් රයිස් හතරක්ම අරන් වාඩි වුණා අර ලස්සන රතු පාට හට් එකක් යට. අම්මයි පොඩි පුතයි අම්මගෙ අම්මයි තාත්තයි මගෙ හිතේ. මාත් ඉතින් සෙට් එකත් එක්ක එතනම එහා පැත්තට වෙලා හිටියෙ. කොහෙද අපි ළං වුණත් අර පිරිසිදු කරන ඇන්ටි කෙනෙක් කඩා පනිනවනෙ අපේ ඇඟටම.

ඒ වුණාට ඉතින් කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනව කියනවනෙ. ඒ කොහොම වෙතත් කපුටු අපේ වාරෙ නම් ආව ඉක්මණටම. අනිත් අය කොහොම කරත් අර කියපු පවුල නම් කාල ඉවර වෙච්ච ගමන් ඉතුරු කෑම ටික එහෙමම තියල නැගිටල යන්න ගියා.

අපට ඉතින් ආයෙ බුලත් දෙන්න ඕනයැ. අපි සෙට් එක පැනපු ගමන් වැඩේ දීගෙන ගියා. ඒ වගේ රහ කෑමක් දැක්කම ඉන්න තැනත් අමතක වෙනවනෙ කාට වුණත්. විනාඩියක් ගියෙ නෑ අපේ දැඟලිල්ලට මේසෙ උඩයි බංකු උඩයි බිමයි හැමතැනම ෆ්‍රයිඩ් රයිස් වැපිරෙන කෙ‍ාට අර ඇන්ටිම කඩා පැනල අපිව එලවල දැම්ම. අපි ටක් ගාල බෙල්ල බේරගෙන පැත්තකට වුණා. ඊට පස්සෙ ඇන්ටි අර පවුලෙ අයටත් බැන බැන එතන අස් කරනව මං බලාගෙන.

මම නම් ඉතින් ඒ පවුලට මුළු හදින්ම පින් දීල පොඩ්ඩක් වටපිට බලන කොට මෙන්‍න බොලේ දැකල පුරුදු මූණක් එ් ළඟම මේසෙක ගෑණු ළමයෙකුත් එක්ක කෑම කනව. අපොයි අර දෙයියන්ගෙ මොකද්ද කියල බ්ලොග් එකක් ලියන්නෙ මෙයා නේද. අනේ ඉතින් මේව බ්ලොග් වල දාන්න තරම් දේවල් නෙවෙයි දෙයියො හො‍ඳේ.

ප.ලි.
(1) දෙයියා ගිය සතියේ අත්දුටු ඇත්ත කතාවකි.
(2) "පාවෙන කඩේ" දෙයියගෙ වෙන්ට නෝනගෙන් ණයට ගත් යෙදුමකි.

2 comments: