Saturday, March 8, 2014

ගැමිදිරිය 2 - ජීවිතේටම එක පාරක් ලැබෙන සුන්දර අත්දැකීමක්

ඉතින් කලින් කියපු විදියට මට ලැබුණු ගැමිදිරියේ රැකියාව බාර ගන්නට 2012 සැප්තැම්බර් මාසයේ මුල් දිනක රුවන්වැල්ලේ පිහිටි කාර්යාලය වෙත ගියෙමි. ඒ යන අතරේත් කල්පනා කරමින් ගියේ මේ ගත් තීරණය නිවැරදිදැයි කියාය. කලින් රැකියාවේ සිටියේද මාස 8ක පමණ කාලයකි. එතැනින් ඉවත් වීමට එක් හේතුවක් කියා දෙයක් නොතිබුණේ එක් හේතුවක් මත පමණක්ම තීරණ නොගැනීමට මා පුරුදු වී සිටි බැවිනි. එක් අතකින් එම රැකියාවෙන් මටවත් මගෙන් එම ආයතනයටවත් පලදායී දෙයක් සිදු නොවන බවට මා තුළ කලක පටන් ඇති වෙමින් තිබූ හැඟීමත් අනෙක් අතින් සිතට වද දුන් පුද්ගලික හේතුවකුත් නිසා අවසානයේ එතැනින් ඉවත් වීමට තීරණය කර ගත්තෙමි.

ඉතින් එදා රුවන්වැල්ලේ කාර්යාලයට ගිය පසු එතැන ප්‍රධානියා වූ සහකාර අධ්‍යක්ෂකතුමා මා සියලු දෙනාට හඳුන්වා දී ව්‍යාපෘතිය ගැනත් එය තුළ මගේ රාජකාරිය ගැනත් දළ අදහසක් ලබා දී කියා සිටියේ මේ වැඩේ හරියටම ඇඟට වැටෙන්න මාසයක් වත් යාවි කියාය. ඒ කියූ විදියටම ‍‍‍‍‍‍මුල් දින වල නම් මට දැනුණේ කරකවා අත ඇරියා වගේය. ඩ්‍රෝවිං, බීඕකියු, ස්පෙක්, ප්‍රෝග්‍රෑම් ඔලුවේ පුරවාගෙන සයිට් වලට ගොස් කම්බි බඳින, කොන්ක්‍රීට් දාන, බිත්ති බඳින, කපලාරු කරන වැඩ කරවන්නට පුරුදු වී සිටි මට ගැමිදිරිය ඇල්ලුවේම නැත.

ඇත්තෙන්ම ගැමිදිරියේද ඒවා තිබුණි. ඒත් හැමදෙනාම කඩිකුලප්පුවෙන් මෙන් දැඟලුවේ ගම් වලට සල්ලි යවන්නටය. වෙන විදියකින් කියන්නේ නම් තමන් බාරයේ ඇති ගම් වල එක එක වැඩ වලට නියමිත කාලයට සල්ලි පාස් කර දෙන්නටය. මේ එක එක වැඩ කීවේ ස්වයං රැකියා, සත්ව පාලන, යටිතල පහසුකම් ආදී මෙකී නොකී එක එක අයට පැවරුණ එක එක විදියේ වැඩ වලටය. ඉතින් යටිතල පහසුකම් කියද්දී එයට ඇතුළත් වන පාරවල්, පාලම්, බෝක්කු, ජල සම්පාදන ව්‍යාපෘති ආදිය මගේ වගකීම් වුණේය. ඉතින් මටත් අනිත් අයගේ වැඩ අස්සේ මගේ සල්ලි ටිකත් ගම් වලට යවා ගන්නට සිදු උණේය.
මේ වගේ වැඩ තමයි අපට කරන්න තිබුණෙ... මම කරපු එකක් නම් නෙවෙයි ඔන්න... (ගත්තෙ මෙතනින්)

ගැමිදිරියේ එක් එක්කෙනාගේ ප්‍රගතිය මැනුණේ බොහෝ දුරට මේ සල්ලි ප්‍රමාණ වලිනි. කොළඹින් ලොකු මහත්තුරුන් ආ විට  ප්‍රසන්ටේෂන් දමා පෙන්නන්නේද තමන් ගම් වලට අර කාලයේ අච්චරක් යැවුවා මේ කාලයේ මෙච්චරක් යවනවා කියාය. ඉතින් මේ වගේ ප්‍රගතිය කියන්න ගියාම ෆීල්ඩ් එකේ වැඩ කරන ප්‍රාදේශීය කාර්යාලයේ එක්කෙනා අච්චර මෙච්චර යවපු හැටියි යවන හැටියි කියන විට ඔවුන් අධීක්ෂණය කරන්නට ඉන්න අපි වගේ දිස්ත්‍රික් කාර්යාලයේ කට්ටියත් එක්ක පොඩි පොඩි වාද විවාදත් ඇති නොවුණා නොවේ.

ඒ කොහොම උණත් ගැමිදිරිය වචනයේ අර්ථයෙන්ම ගමට දිරිය දෙන වැඩපිළිවෙළක් විය. ඒ වගේම සුන්දර අත්දැකීමක් විය. මට නම් වැඩි කල් නොයාම හිතුණේ ගැමිදිරිය ජීවිතේටම එක පාරක් ලැබෙන සුන්දර අත්දැකීමක් කියාය. ගැමිදිරිය වෙනුවෙන් දැරණියගල-දෙහිඕවිට-යටියන්තොට ප්‍රධානව කෑගල්ලෙත් කුරුණෑගලත් දුෂ්කර ගම්වල ඇවිදින්න ලැබුණු එකත් ඒ ගමන් වලදි ලබපු රසමුසු වගේම සංවේදී අත්දැකීම් ගොන්නත් කවදාවත් අමතක වෙන එකක් නැත. ඈත පිටිසර ගම් වල ඉන්න මිනිස්සු, ඔවුන්ගෙ සරල ජීවිතය, අහිංසක බලාපොරොත්තු, ඒව වසාගෙන නැගුණු අදිසි හස්තයන්, මේ සියල්ල එක්ක හැප්පෙමින් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ලැබුණ අවස්ථාව ජීවිතේටම අමතක වෙන එකක් නැත. කොටින්ම වෙන මොනව අමතක උනත් අපි දැරණියගල පැත්තෙ රවුම් ගැහුවෙ අර අතකොටා කියන මනුස්සය එහෙ රජ කරපු කාලෙ කියන එක නම් අමතක වෙන එකක්ම නැත.
(ප.ලි. දැන් නම් මතක් වෙන කොටත් බයය)

2 comments:

  1. ඒ අත්දැකීම් ඉඩ තිබෙන හැටියට අපි එක්ක බෙදාහදා ගන්න ඔබට හැකිවේවි කියලා මා විශ්වාස කරනවා.

    ReplyDelete
  2. අනිවා... පුලුවන් විදියට ලියන්නම්...

    ReplyDelete