Monday, March 8, 2021

තාමත් මං උඹවම හොයනවා බං

ඉන්නෙ කොහෙදත් දන්නවා
කරන්නෙ මොනවදත් දන්නවා
වෙන කෙනෙක්ගෙ බවත් දන්නවා

ඒත් තාමත් මං උඹවම හොයනවා බං

මහන්සි වුණ දවසක කෙළවර
නින්ද නොඑන රෑක මැදියම
පෙනී නොපෙනී යන හීනෙක පුරාම
ඇස් පියාගෙන කන් වසාගෙන
ඒ අඳුරේ ඒ නිහඬ බව ඇතුළේ
විතරක් නෙවෙයි

තනියම යන දුර ගමනක
එහා පැත්තේ අසුනේ වගේම
උඹ ඉන්න නගරෙට අහම්බෙන් එන දිනක
ඒ පාරවල්වල ඒ මුහුණු අතරෙත්

තාමත් මං උඹවම හොයනවා බං

හැමෝම කියනවා
උඹ දැන් වෙන කෙනෙක්ට 
අයිතිලු
එතකොට
මම උඹව අයිති කර ගන්න
නොහිතපු එක තමයි වරද නේද

කොච්චර හෙව්වත් ඇස් දෙක පියවෙනකම්ම
ආයෙ උඹව හම්බවෙන්නෙ නැති වෙයි
ඒත්
අදහන ආගම අනුව
ආයෙ උපදින බව දන්න නිසා
ඒක නැති කරගන්න උත්සාහ කරන්න ඕනි බව දැන දැනත්
භව තණ්හාවෙන් බැඳි බැඳී
ආයෙත් උඹවම පතනවා බං


ආයෙත් කියන්න මොකෝ උඹ කලිනුත් මගෙ වෙලා හිටියැයි
ආයෙත් නෙවෙයි
පළවෙනි පාරට
අයිති කරගන්නම
මං උඹවම පතනවා බං

තාමත් මං උඹවම හොයනවා බං


I wonder how, I wonder why
I wonder where they are
The days we had, the songs we sang together, oh, yeah
And oh, my love
I'm holding on forever
Reaching for the love that seems so far
So, I say a little prayer
And hope my dreams will take me there
Where the skies are blue
To see you once again, my love
Overseas from coast to coast
To find a place I love the most
Where the fields are green
To see you once again, my love

Saturday, October 31, 2020

ඩිස්ට්‍රෑක්ෂන්ස්

අද නම් දෙයියා ඉංග්‍රීසි පාඩමක් කරන්නයි යන්නෙ කියල හිතුවද? අපෝ නෑ. මේ එහෙම එකක් නෙවෙයි. මේ කියන්න යන්නෙ ජීවිතේ එක එක තැන්වලදි අපට වෙන ඩිස්ට්‍රෑක්ෂන්ස් ගැන. ඒ කිව්වේ අපේ අවධානය එක වැදගත් දේකින් අයින් කරලා වෙන වැදගත් නැති දේකට ඇදලා ගන්න දේවල් ගැන. මේක ඉතින් තියරි වලින් පැහැදිලි කරන්න බෑ. ඒ නිසා හැමෝටම තේරෙන උදාහරණයක් ගමුකෝ.

ඔන්න කොල්ලෙක් ඉන්නවා. කෙල්ලෙකුත් ඉන්නවා. අපි හිතමු ඔෆීස් එකක කියලා. දැන් මේ කොල්ලා මේ කෙල්ලට කැමතියි. ඔව් ඉතින් නැත්නම් කතාවක් නෑනෙ. හරි දැන් එතකොට කොල්ලා කෙල්ලට කැමති උනාට කොල්ලගෙ හිතේ එක එක ප්‍රශ්න. ඔව් ඉතින් ඒකත් එහෙම වෙන්න එපැයි කතාවක් වෙන්න. හරි හරි කතාව අහන්නකෝ.

මෙහෙමයි. දැන් කොල්ලට එක එක දේවල් හිතෙනවා. මම මෙයාට කැමති උනාට මෙයා මට කැමති වෙයිද? මට පිස්සු කියල හිතයිද? යාලුවන්ටත් කියල මට හිනා වෙයිද? තියෙන යාලුකමත් නැති වෙයිද? මගෙ යාලුවොයි මේ වටේ පිටේ ඉන්න උනුයි මොනව හිතයිද? මාව එයාට ගැළපෙනවද? ඔය මොකක්වත් නැත්නම් අඩු ගානේ මෙයා මට වඩා වැඩිමල්ද කියලවත් හිතලා ළත වෙනවා වෙනවාම තමයි.

ගත්තෙ මෙතනින්...

දැන් මේ කොල්ලා ඇත්තටම ඉන්නේ ආදරේ කියාගන්න බැරුව. හැබැයි හිතෙන්නේ වෙන දේවල්. ඔහොම ඉන්නකොට තව කෙල්ලෙක් එනවා සීන් එකට. එක්කෝ කලින් නෝට් නොවී තිබිලා එක සැරේටම වගේ නෝට් වෙන්න ගන්නවා නැත්නම් අලුතින්ම එතෙන්ට එනවා වෙන්නත් පුලුවන්. දැන් අර මුලින් කෙල්ලට කියාගන්න බැරුව නොගැළපීම් ගැන හිත හිතා ඉන්න කොල්ලගෙ හිත මේ දෙවෙනි කෙල්ලට නිකම්ම ළං වෙනවා. සමහර වෙලාවට අර කෙල්ලට ළං වෙන්න තිබුණේ නැති ධෛර්යයක් මේ කෙල්ලත් එක්ක ෆිට් වෙන්න කතා කරන්න නිකම්ම එනවා. හැබැයි කොල්ලට එක පාර ආදරයක් ඇති වෙන්නෙත් නෑ. හැබැයි සෑහෙන්න ෆිට් වෙනවා. නිතර කතා කරනවා. මෙසේජ් කරනවා. වැඩ ඇරිලා බස් එකේ යද්දියි ගෙදර ගිහිනුයි පැය ගණන් මල් කඩනවා.

කොටින්ම දැන් අර පළවෙනි කෙල්ලව තමන්ගෙ ඔප්ෂන්ස් ලිස්ට් එකෙන් අයින් කරල තමයි හිතන්නෙ. ආයෙ එයාව මතක් වෙන්නෙම නෑ. ඇයි එයා ගැන තමන්ට ඇති වෙච්ච ෆීලින්ග්ස් තමන්ම සැක කර කරනෙ ඉන්නෙ. එතකොට ආපහු එයාව එන්නෙ නෑ හිතට.

හැබැයි ටික කාලෙකින් මොකක් හරි වෙනවා. කොල්ලට මොකක් හරි අවුලක් තේරෙනවා. නොගැළපීමක් තේරෙනවා. එහෙම නැත්නම් මේ කෙල්ලම ඈත් වෙන්න ගන්නවා. එතකොට කොල්ලට තේරෙනවා මේක නිකම් ආකර්ෂණයක් විතරයි කියලා. ආදරයක් නෙවෙයි කියලා. ඊට පස්සේ කොල්ලත් ඈත් වෙනවා. සමහර විට නිකම්මත් නෙවෙයි. ගොඩක් හිත රිද්දගෙන.

ඊට පස්සේ කොල්ලා ටිකක් තනි වෙන්න බලනවා. අනිත් අයගෙන් ඈත් වෙනවා. ළඟම යාලුවන්ගෙන් පවා ඈත් වෙන්න පුලුවන්. ඔහොම ටික දවසක් යනවා. සමහර විට මාසයක් දෙකක් වෙන්නත් පුලුවන්. ඊට පස්සේ ආපහු තමන්ට ඇත්තටම ආදරයක් ඇති වුණ කෙල්ල ගැන හිතන්න ගන්නවා. ඒත් ඉතින් ඒ පැත්තට හැරෙන කොට ඒ කෙල්ල අතටම ගෙනත් දෙනවා. මොකද්ද? වෙඩින් කාඩ් එක.

ඊට පස්සෙ ඉතින් කොල්ලට වෙන්නෙ සිංදු කිය කිය ඉන්න තමයි.

"හිතක් තිබු නමුත් කෙළින්ම නොකියා මමත් ළත වෙවී උන් හන්දා

ඔබත් ඉවසුවා දැන් ඇති කියලා ඔහු හට හිත දුන්නද මන්දා"

(මම ලිව්වෙ හොඳේ)

ඔන්න ඔහොම ඒවට තමයි ඩිස්ට්‍රෑක්ෂන්ස් කියන්නේ. ජීවිතේ වැදගත් දේකට අපේ තියෙන අවධානය නැති කරලා අපිව වෙන දේකට ඇදලා ගන්නවා. හැබැයි ටික කාලෙකට. ඒ කාලය ඉවර වෙන කොට ඒ ඩිස්ට්‍රෑක්ෂන් එක නිකම්ම අපේ ජීවිතෙන් ගිහින්. හැබැයි නිකම්ම නෙවෙයි අර වැදගත් දේ අපට නොදැනිම අපෙන් ඈතට යවලා. සමහර වෙලාවට අපිව හිතලම ඩිස්ට්‍රෑක්ට් කරන අය අපේ ජීවිතේට එන්නත් පුලුවන්. හැබැයි මට හිතෙන විදියට ගොඩක් වෙලාවට ඕක දෛවය විසින්ම කරන දෙයක්. අපේ වැඩිහිටියො අපල කාල කියන්නෙ ඔය වගේ ඒවට වෙන්නත් පුලුවන්.

ඕක ආදරයට විතරක් නෙවෙයි වෙන ඕනිම දේකට වෙන්න පුලුවන්. අධ්‍යාපනයට නැත්නම් වෘත්තීය ජීවිතේ දියුණුවට වෙන්නත් පුලුවන්. කොහොම උනත් වැදගත්ම දේ තමයි ඉතින් මොකක් හරි දෙයක් ඩිස්ට්‍රෑක්ෂන් එකක් කියලා අපට ඒක තියෙන කාලෙ තේරෙන්නෙම නැති එක. ඒක තේරෙන්නෙ කාලෙකට පස්සෙ. සමහර වෙලාවට අපට වටිනා දෙයක් මග ඇරුණ කියල ඉක්මණට තේරුණත් එතන උනේ ඩිස්ට්‍රෑක්ෂන් එකක් කියලා තේරෙන්නෙ තවත් ගොඩක් කල් ගිහින්.

හැබැයි මට හිතෙනවා අපට සෙල්ෆ් අවෙයානස් - ඒ කිව්වේ අපට අපි ගැන සහ අපට ජීවිතේ ඕනි මොකද්ද කියන එක ගැන තියෙන අවබෝධය - තියෙනව නම් ඩිස්ට්‍රෑක්ෂන් එකක් ජීවිතේට ආපු ගමන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා. චුට්ටක් හරි. එහෙම තමන්ට ඕනි දේ ගැන මාරම මීටරෙන් ඉන්න අයත් මට හම්බ වෙලා තියෙනවා. හැබැයි මට නම් ලොවෙත් නෑ ඒක.

දැන් හරි එහෙම අවබෝධයක් තියෙන අය චුට්ටක් නතර වෙලා කල්පනා කරල බලනවද කවද හරි දවසක තමන්ට එහෙම ඩිස්ට්‍රෑක්ෂන්ස් තිබුණද කියල. සමහර විට මේ වෙලාවෙත් එහෙම එකක් තියෙනවද දන්නෑ. චුට්ටක් හිතල බලනවද?

Saturday, September 19, 2020

ලස්සනම සිනහවැති කෙල්ල

මොටෝ රිය ඇදෙයි
බෑවුම් මගේ ඉහළට
මද වැස්ස කපා ගෙන

කන්ද නගින විට
හාත්පස චමත්කාරය මැදින්
මතක් වෙන්නේම
පරණ සිංදුවක්
කන්දක් ගැනත්
හිනාවක් ගැනත්
ලස්සන කෙල්ලක් ගැනත් කියැවෙන

හිත දිව්වා ඒ ඇසිල්ලේ
අවුරුදු ගානක් ආපස්සට

ලස්සනම සිනහවැති කෙල්ලයි
ඒ ඔහු එදා මෙදා දුටුව

මිතුරුකමට එහා ගිය
ළෙන්ගතු ඇසුරක් පැතුවත්
අවසන
මිතුදම් හොඳ යැයි
අහිමි වෙනවට වඩා
සිතුවෙන්

එතැනින් නැවතුණි ඔහු
එතැනින් දෙමගක ගියෝය ඔවුන්

ඒත්
අදටත්
ලස්සනම සිනහවැති කෙල්ලයි
ඔහුට නම් ඇය

Wednesday, November 16, 2016

1930 සහ 2016 කතා දෙකක්

දිනක්...

"මට ආරංචියි අද ඉස්කෝලෙ ළමයි ලොකු කලබලයක් කරා කියල. උඹ මොකද කරේ? (ඉස්කෝලෙ ගිහින්)"

"අද හර්තාල් නිසා ඉස්කෝලෙ නෑ. ඒ අස්සෙ... (මෙන්න මගෙ ප්‍රශ්නෙ විසඳගන්න නියම චාන්ස් එක) කවුද එකෙක් මගෙ තොප්පිය උදුරගෙන ඉරල විසි කරා. මට හෙට ඉස්කෝලෙ යන්න අලුත් කැප් එකක් ඕනි."

"මොකාද ඒ වැඩේ කරපු එකා?"

"මං දන්නෑ. සෙනඟ අස්සෙ හිටපු එකෙක්"

"ඇයි ඌ එහෙම කරේ?"

"ඒක පිටරට එකක් නිසා"

"කවුද කියන්නෙ? මම ඒක 'කදාර්' (අත්යන්ත්‍ර රෙදි) කඩෙන් ගත්තෙ. මොකද උඹ හිතන් ඉන්නෙ උඹ ඔක්කොම දන්නව කියලද?"

"මම මොකුත් කරේ නෑ. මට ගහන්නත් ගියා උන් මං ඒක නවත්තන්න හැදුවම"

"උඹ උට ගහල බිම දාන්නයි තිබ්බෙ. මම කැප් එකයි උඹේ ඇඳුම් මහන්න රෙද්දයි දෙකම ගත්තෙ කදාර් කඩෙන්. මොකෙක් හරි කියනව නම් ඒව කදාර් නෙවෙයි කියල උෟ පොට්ටයෙක් වෙන්න ඕනි."

"මිනිස්සු කියනව ඒව ලැන්කෂයර් වල හදපුව කියල."

"විකාර. උන්ට උන්ගෙ වැඩක් බලාගන්න කියපන්. මතක තියාගනින්, උඹ පාර යන එක එකා කියන එ්ව අහල උඹේ ඇඳුම් ඉරල දාන්න දුන්නොත් උඹට හෙලුවෙන් තමයි පාරෙ යන්න වෙන්නෙ. ඒ වගේම උඹ ගිහින් කියපන් උන්ට මම මගෙ එක සතයක් පිටරට වලට යවල නෑ කියල. මම මගෙ යුතුකම් හොඳට දන්න මිනිහෙක්. ඒ මොනව වුනත් දෙයියන්ගෙ නාමෙන් උඹලට බැරිද ඔය දේශපාලනෙන් ඈත් වෙලා උඹලගෙ වැඩක් බලාගන්න? අපට මේ රටේ ඕනි තරම් ප්‍රශ්න තියෙනව, උඹල වගේ කජුකිරි කොල්ලො ඒව තවත් අවුල් කරේ නැතුවට."

(ස්වාමි සහ ඔහුගේ පියා අතර දෙබසකි)

පෙර දින...

දිනය 1930 අගෝස්තු 15 වෙනිදා. දෙදහසක පමණ මල්ගුඩි වැසියන් පිරිසක් එදින සරායු ගඟේ ඉවුරට රැස්ව සිටියේ බොම්බායේ ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ගෞරි ශංකර් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීමටයි. කදාර් ඇඳුමකින් සැරසුණු ගාම්භීර පෙනුමක් ආරූඪ කරගත් දේශකයෙක් වේදිකාවක් මත නැගී ජනකාය අමතමින් සිටියා. තියුණු, උස් හඬින් ගෞරි ශංකර්ගේ ජීවිතය හා කාර්යභාරය ගැන විස්තර කළ ඔහු ඉන් පසුව කතාව වෙනස් අතකට හැරෙව්වා.

"අපි අද වහලුන් වෙලා. වෙන කවදාටත් වඩා වහලුන් වෙලා. අපි අපේ උරුමය මතක් කරගමු. ඇයි අපට රාමායණයේ හා මහා භාරතයේ තියෙන අභිමානවත් අතීතය අමතකද? මතක තියාගන්න මේ රට කාලිදාස කෙනෙක්, බුදු කෙනෙක්, ශංකරාචාර්ය කෙනෙක් ලෝකෙට දීපු රටක්. අපේ මුතුන් මිත්තෝ නැව් හදාගෙන මුහුදු තරණය කරපු කාලේ, අපි ශිෂ්ටාචාරයේ හිණිපෙත්තේ හිටපු කාලේ, සුද්දෝ හෙලුවෙන් කැලෑවල අැවිදිනවා අමු මස් කකා. ඒත් අද අපට මොකද්ද වෙලා තියෙන්නෙ? අපි වහලුන්ගෙත් වහල්ලු වෙලා."

මේ වෙලාව වෙන කොට ස්වාමිටත් ඔහුගේ මිතුරු මානිටත් මේ කතාව තේරෙන්නෙ නැති තත්වෙට ඇවිත් තිබුණෙ. ඒත් අර පුද්ගලයා ඊළඟට කියපු දේ නම් හරිම ප්‍රායෝගිකයි කියල ඔවුන්ට හිතුණා.

"නිකමට හිතපල්ලා. අපි මිලියන තුන්සිය තිස් හයක් ඉන්න, යුරෝපෙ තරම් ලොකු රටක්. ඒකට එංගලන්තෙ. අපේ මදුරාසිය තරම්වත් නැති, සුද්දො ටික දෙනෙක් ඉන්න, ඒ මදිවට හැතැම්ම දාස් ගානක් ඈත තියෙන රටක්. ඒත් අපි මෙහෙ ඉඳන් උන්ට වැඳ වැටෙනවා! අැයි අපට එහෙම වෙලා තියෙන්නෙ? අපේ මහ උන්ගෙ වැරදි නිසා නෙවෙයිද? වෙන මුකුත් ඕනි නෑ, අපි ඔක්කොම එකතු වෙලා එංගලන්තෙ උඩට කෙළ ගැහුවත් ඇති උන්ව යට වෙලා මැරිල යන්න!"

දේශකයාගේ කතාවෙන් බොහෝ සේ උද්දාම වූ ස්වාමි හා මානි අතර ඉන්පසු ඇති වූ කතාවයි මේ.

"ගාන්ධිට ජය වේවා!"

"මෝඩයා! ඇයි උඹට කට වහන් ඉන්න බැරි?"

"ඒක ඇත්තද?"

"මොකද්ද?"

"අර කෙළ ගහලා සුද්දන්ව ගිල්ලලා මරලා දාන එක?"

"වෙන්න එපැයි නේද? නැත්නම් උඹ හිතනවද ඔය මනුස්සය ඕක කියයි කියල?"

"ඉතින් එහෙනම් අපි ඒක කරන්නෙ නැත්තෙ ඇයි? "

"සුද්දො අපට වෙඩි තියයි යකෝ, උන්ට කිසි අණක් ගුණක් නෑ"

ස්වාමි තවත් මොකද්දෝ කීමට සැරසුණත් ළඟ සිටියවුන් ඔහු දෙස රවා බැලූ හෙයින් ඔහු කට පියා ගත්තේය.

සවස් භාගයේ ඉතිරි කොටස ස්වාමි හා මානි, දේශකයාගේ කතාවේ ඇලී ගැලීම සිටියෝය; ඔහුත් සමග ඉන්දියානු කම්කරුවාගේ ඉරණම ගැන හඬා වැටුණාහ; එංගලන්ත බඩු වර්ජනය කරන්නට ශපථ කළහ; ඒ වෙනුවට සිය රට දේ වූ කදාර් රෙදිම අඳින්නට තීරණය කළෝය.

හදිසියේම මානි දෙස හැරුණු ස්වාමි පහත් හඬින් මෙසේ ඇසීය.

"උඹ දන්නවද මම ඇඳන් ඉන්නෙ මොනවද කියල?"

"යකෝ... ඕක ලැන්කෂයර් ඇඳුමක්!"

"උඹ කොහොමද දන්නෙ?"

ඊට පිළිතුර වූයේ රවා බැලීමක් පමණි.

"උඹ ඇඳන් ඉන්නෙ මොකද්ද?"

"මේක කදාර් යකෝ! උඹ හිතුවද මම ඔය සුද්දන්ට එක සතයක් ගෙවයි කියලා?"

මේ කතාව ගැන නම් ස්වාමිට සැකයක් ඇති වුණත් ඔහුට ඒ මොහොතේ සිතට ආ එකම හැඟීම, 'ලැන්කෂයර් ඇඳුමකින් ආවාට වඩා හෙලුවෙන් ආවා නම් හොඳය' යන්න පමණි.

එක වරම ජනකාය මැදින් "භාරත මාතාවට ජය වේවා" "ගාන්ධිට ජය වේවා" යනුවෙන් මහත් හඬක් නැගුණි. ඉන්පසුව මලානික දේශාභිමානී ගීතයකි. ඊටත් පසුව සැඳෑ අඳුර ඒකාලෝක කරමින් ගිනි ගොඩක් දල්වන ලදී. ගාන්ධි තොප්පි පැළඳි ළමයි කිහිප දෙනෙක් ජනතාව අතරින් ඇවිද ගියේ පිටරට ඇඳුම් පුළුස්සන ලෙස ඔවුන්ගෙන් අයදිමිනි. කබා, තොප්පි හි තවත් උඩුකය ඇඳුම් ගැලවී ඉගිලී ගොස් ගිනි ජාලාව මැදට වැටුණේ දුම් හා ගඳ නංවමිනි.

ස්වාමි මේ දෙස බලා සිටියේ සතුටින් ඔද වැඩෙමිනි. එහෙත් එක් වරම:

"ළමයා උඹට ඕනි අපේ රට සදාකාලිකව වහලුන් කරල තියන්නද?"

"නෑ නෑ!"

"ඒත් උඹ දාගෙන ඉන්නෙ පිටරට තොප්පියක්!"

"ආ! මට අමතක වුණා!"

ඔහු එක්වරම ලැජ්ජාවට පත් වුවත් හනික සිය තොප්පිය ගලවා ගිනි ගොඩට විසි කළේ 'තම රට බේරා ගන්නවා' යන අභිමානවත් හැඟීමකිනි.

පසුවදන

මේ හුදෙක් 1935දී ලියූ 1930 ඉන්දියානු කතාවක ("Swami and Friends" by R. K. Narayan) කොටසක දළ පරිවර්තනයක් වන අතර, 2016දී ලංකාවේ සිදු වූ මීට සමාන සිදුවීම් මාලාවකට කිසිදු සම්බන්ධයක් නැත.

ප.ලි.


Upload කරේ මේකෙන්. ඇයි අවුල්ද?

Sunday, October 16, 2016

වතුර

මහා ගංවතුරක් ඇවිත් මාස පහක් යන විට නියඟයක් ඇවිත් වතුරත් කපන තැනට පත්ව තිබේ. එය නිමිති කරගෙන ලියන්නට හිතද්දීම ප්‍රදේශ කිහිපයකටම දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව දැනගන්නට ලැබුණි. ඒත් කොළඹද ඇතුළුව ප්‍රදේශ බොහොමයක ඇති අධික උෂ්ණත්වය හා නිල නොවන වතුර කැපිල්ලට තවත් යම් කාලයක් යන තුරු නැවතුමක් ලැබෙතැයි සිතීම අසීරුය.

වතුර සම්බන්ධ තත්ත්වය එබඳුය. වතුර සම්බන්ධ කතාව දේශගුණයේ හැසිරීම ගැන කතාවේම කොටසකි. ජල චක්‍රය ගැන අප අැසුවේ හතර වසරේ ආරම්භක විද්‍යාවට විය යුතුය. එහි හැසිරීම තීරණය වන්නේ දේශගුණයත් සමගය. එහෙත් දේශගුණ විපර්යාස ගැන අප අසන්නේ වඩා මෑත කාලයේ සිටය. එම සංසිද්ධියත් සමග අපට වතුර ලැබෙන විදියේද විශාල වෙනස්කම් ඇති වී තිබෙන වග අප තේරුම් ගත යුතුය. එසේ නොමැතිව ජනගහණ වර්ධනයත් සමග ජල ඉල්ලුමද වැඩි වන අනාගතයට මුහුණ දීම විහිළුවකි.

අපට ජලය ලැබෙන ප්‍රධාන ආකාරය වැස්සයි. ලංකාවේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලි මීටර් 2,500ක් පමණ බැව් අප අසා ඇත. අපට වැස්ස ලැබෙන ආකාරය වෙනස් වී - එනම් වහින කොට නැති වෙන්න වහින්නත් පායන කොට කර වෙන්න පායන්නත් පටන් ගෙන - ඇතත් අවුරුද්දටම වහින ටික එකතු කර බැලූ විට ලොකු වෙනසක් වී නැත. කොටින්ම කීවොත් total rainfall එක වෙනස් වී නැතුවත් rainfall intensity එක සෑහෙන්න වෙනස් වී ඇත.
ඊයෙ-පෙරේදා ගංවතුර නිසා (ගත්තෙ මෙතනින්)
ඊයෙ-පෙරේදා නියඟය නිසා (ගත්තෙ මෙතනින්)
ගංවතුර හා නියඟය යන දෙකම මේ වෙනස් වීම් වල ප්‍රතිඵල ය. ඉතින් අපේ සූදානම විය යුත්තේ මේ extreme events වලට මුහුණ දීමට හැකියාව ඇති කර ගැනීමය. ජල කළමනාකරණයක් ගැන ඇසූ සැණින් පස්ස ගිනි ගත්තා සේ "මෙන්න වතුර ටිකත් විකුණ ගන්න හදනවෝ" යැයි කෑ නොගසා වැස්සෙන් එන වතුර ටික නිකම්ම මුහුදට යන්නට නොදී ඉන් උපරිම ඵල නෙළා ගන්නා විදියක් අප සිතිය යුතුය. ඒත් වැඩේ තියෙන්නේ එහෙම කිව්වාම අපට සිදු වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා මතක් වන එකත් "ඕකනේ අපේ කට්ටිය රජ කාලේ ඉඳන් ඕවා දැනගෙන හිටියානේ" යනුවෙන් ආඩම්බර වන එකත් පමණක් වීමය.

වැස්සෙන් වැටෙන වතුර ටික ජල පෝෂක ප්‍රදේශ හරහා පැමිණ ඇළ-දොළ-ගංගා ඔස්සේ මුහුදට ගලා යන තෙක් ගන්නට ප්‍රයෝජන රාශියක් තිබේ. ඒත් ගොඩක් වෙලාවට ඒ ඒ වැඩේ එ් එ් ආයතනයට බෙදා තිබෙනවා මිසක් කවුරුත් big picture එක දැක ඒ ගැන සිතා වැඩ කරන බවක් පේන්නේ නැත.

එහෙම නැතිව වහින්න කලින්ම වහින්න පුලුවන් කාල වකවානු හා ප්‍රමාණයන් දළ වශයෙන් හෝ ඇස්තමේන්තු කර ඒ ටික එකතු කර තියා ගන්නත් දැනට එකතු කරගෙන ඉන්න ප්‍රමාණ වැඩි නම් ඒවා මුදා හැර අලුතින් එන වතුරට ඉඩ හදා ගන්නත් පුලුවන් නම් කොතරම් අගනේද? වැස්සට පසු ඒ ලැබුණු වතුරෙන් පානීය ජල සැපයුමත් වාරිමාර්ග හරහා කෘෂි ජල සැපයුමත් විදුලිය නිපදවා ගැනීමත් ආදී සියලු දේ හරියාකාරව ඉටු කරගෙන එතැනිනුත් නොනැවතී ගංවතුර පාලනය කර ගන්නත් ඉන් ඉඩ සැලසෙනවා නොවේද? මෙය ඉතා සංකීර්ණ කාර්යභාරයක් සේ පෙනුණත් හෙට දවසේ ජලය සම්බන්ධව ඇති අභියෝග ජය ගන්නට නම් අප මෙය කෙසේ හෝ කළ යුතුම බවයි මගේ හැඟීම.

Sunday, June 5, 2016

කොළඹ ගංවතුර - 2

පෙර ලිපිය හා සබැඳි...

කැලණි ගඟේ ගංවතුරට වගකිවයුත්තෙක් නිශ්චිතව සොයා ගැනීමට නොමැත. එහෙත් රාජ්‍ය ආයතන කිහිපයක්ම විවිධ ආකාරයෙන් ඒ හා සම්බන්ධ වී සිටින අතර ඒවා අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ගැටලුවේම කොටසක් බවට පත්ව තිබේ.

ගඟේ ගංවතුරෙන් අවට ප්‍රදේශ ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පැවරී ඇති අතර පෙර ලිපියේ දැක්වුණු පරිදි ගංවතුර පාලන බැමි හා ගේට්ටු වල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කිරීම ඔවුන් යටතේ පවතී. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ඇළ මාර්ග භාරව සිටින බැවින් ඒ ආශ්‍රිතව ඇති වන ගංවතුර පාලනය කිරීමද ඒ හා බැඳී පවතී. එහෙත් මේ "ආශ්‍රිත ප්‍රදේශ" මොනවාද යන්න පමණක් නොව නෛතිකව "ගංවතුර පාලනය" යන්න ඔවුන් වෙත පැවරී තිබේද යන්නත් අණ-පනත් විමසා දැනගත යුතු කාරණයකි. එබැවින්ම කොළොන්නාව ගංවතුරෙන් යට වීමට වගකිව යුත්තේ කවුද යන්න තබා ඒ ගැන විමසිය යුතු වන්නේ කාගෙන්ද යන්නත් නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නයකි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය සැලකීමේදී ගංවතුරට යට වූ ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය හදිසි ආපදා සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මූලික අවධානය යොමු වූ අතර නිසියාකාරව ගංවතුර කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක අඩුව දක්නට ලැබුණි.

රාජ්‍ය ආයතන අතර තොරතුරු හුවමාරු කරගැනීම හා මනා සම්බන්ධීකරණය මගින් ආපදා කළමනාකාරණය, දියුණු රටවල රාජ්‍ය ව්‍යුහයේ අනිවාර්ය අංගයක් ලෙස ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස, අප කළ සංචාරයකදී දැනගත් පරිදි, දකුණු කොරියාව තුළ WINS (Water Resources Management Information System) නමින් හඳුන්වන ජලය හා සම්බන්ධ තොරතුරු පද්ධතියක් ඇති අතර මෙමගින් රාජ්‍ය ආයතන 10ක් අතර ජලය හා සම්බන්ධ තොරතුරු හුවමාරුව සිදු වේ.
දකුණු කොරියාවේ රාජ්‍ය ආයතන අතර ජලය සම්බන්ධ තොරතුරු හුවමාරුව දැක්වෙන සාරාංශයක්... (ගත්තේ, සංචාරය ගැන මා විසින්ම සකස් කළ වාර්තාවකිනි)
කෙසේ වෙතත් ගංවතුර පැමිණීම පිළිබඳ ප්‍රමාණවත් පරිදි පුරෝකථනයක් කර ගත හැකි නම් අඩු වශයෙන් ජනතාව කල් තබා දැනුවත් කිරීම හෝ සිදු කළ හැකිය (එබඳු දැනුවත් වීමකින් පසුව පවා ජනතාව සිය වාසස්ථාන වලින් ඉවත් වේද යන්න වෙනම ප්‍රශ්නයක් බව කරුණාවෙන් සලකන්න). ඒ සඳහා වර්ෂාපතන අනාවැකි සහ යම් මොහොතක ලැබෙන වර්ෂාපතනය හා ගඟේ ජල මට්ටම (real-time rainfall and water levels) පිළිබඳ විස්තර වැදගත් වේ.

එහෙත් අවාසනාවකට අප රටේ විශ්වාසදායී වර්ෂාපතන අනාවැකි පළ වන්නේ නැත. ආසන්නතම උදාහරණය ලෙස පසුගිය ගංවතුර ඇති වූ සතියේ බ්‍රහස්පතින්දා දිනය සලකමු. මෙම දිනයේ වැසි ඇති නොවන බව මෙරට කාලගුණ අංශ පෙර දිනයේ ප්‍රකාශ කළද ජාත්‍යන්තර කාලගුණ වෙබ් අඩවි කිහිපයක්ම පෙර දින සඳහන් කර තිබුණේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. මෙරට ජනතාවට සුපුරුදු පරිදිම මෙරට කාලගුණ අනාවැකි බොරු කරමින් දැඩි වර්ෂාපතනයක් එදින ඇති වූ අතර පසුදින උදෑසන කාලගුණ අංශ ජාම බේරා ගත්තේ "සාමාන්‍ය වශයෙන් මිලිමීටර් 50ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බවටත් ස්ථාන කිහිපයක එම අගය අඩු-වැඩි වූ බවටත්" අපූරු ප්‍රකාශයක් සිදු කරමිනි (මෙය මා පසුදින උදෑසන ගුවන් විදුලි නාලිකාවක අදාල නිලධාරියකුගේ හඬින්ම විකාශය වනු ඇසූ කතාවකි). තත්ත්වය මෙසේ නම්, අප විශ්වාසදායී ලෙස වර්ෂාපතන අනාවැකියක් නිකුත් කළ හැකි මට්ටමට පත්වන්නේ කවදාද?

එමෙන්ම මෙරට වර්ෂාපතන වාර්තා නිල වශයෙන් නිකුත් කරනු තබන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වුවද, තවත් ආයතන ගණනාවක් සතුව වර්ෂාමාන (rain gauges) පවතී. වාර්මාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මින් කිහිපයකි. දිවයින පුරා ඇති මෙවැනි වර්ෂාමාන වල වාර්තා එක්රැස් කර යම් දිනක් සඳහා වන වැඩිම වර්ෂාපතනය ප්‍රකාශයට පත් නොකිරීමෙන් ඇති වන වෙනස දැනගැනීමට පෙර පරිච්ඡේදයේ දැක්වූ උදාහරණයම අදාල කර ගත හැකිය. එම දිනය සඳහා වැඩිම වර්ෂාපතනය ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මිලිමීටර් 64.1ක් (රත්නපුර) වාර්තා කරද්දී ලංකා විදුලිබල මණ්ඩලය මිලිමීටර් 78.5ක් (ලක්ෂපාන) සහ වාර්මාර්ග දෙපාර්තමේන්තුව මිලිමීටර් 144.3ක් (දැරණියගල) වාර්තා කර තිබුණි. එසේ නම් දිනයට අදාලව නිල වශයෙන් වාර්තා ගත වූ වැඩිම වර්ෂාපතනය, ඇත්ත වශයෙන්ම ලැබී තිබූ අගයෙන් අඩකටත් අඩුය.

කැලණි ගඟේ ගංවතුර තත්ත්වයන් සම්බන්ධයෙන් සැලකිය යුතු තවත් කරුණක් වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, මාඋස්සාකැලේ හා කාසල්රී ප්‍රධාන කොට ඇති ජල විදුලි උත්පාදන ජලාශයි. ඒවායේ ජල මට්ටම අනුව වාන් දොරටු විවෘත කිරීමට ගනු ලබන තීරණ ගඟේ පහළ කොටසේ ජල මට්ටමට සෘජු බලපෑමක් ඇති කරයි. විශේෂයෙන් කැලණි ගඟේ ඉහළ කොටස දැඩි බෑවුමක් සහිතව හා පහළ කොටස ඉතාම මෘදු බෑවුමක් සහතිව පවතින බැවින් ඉහළින් නිදහස් කරන ජල කඳ ඉතා ඉක්මණින් පහළට පැමිණෙන අතර පහළ කොටසේදී වේගය අඩු බැවින් වැඩි ප්‍රදේශයක පැතිර යාම හා ඉතා සෙමින් ජල මට්ටම පහත බැසීම සිදු වේ.
කැලණි ගඟේ ඉහළ කොටසේ ජලාශ හා බලාගාර... (ගත්තේ මෙතනින්)
කරුණු මෙසේ හෙයින්, ගංවතුර කාගේ වගකීමක් වුවද ඊට අදාල දත්ත නවීන තාක්ෂණය භාවිතා කර නිරවද්‍යව හා ඉක්මණින් ලබා ගැනීමට මෙන්ම ඒවා රාජ්‍ය ආයතන අතර නිසි පරිදි බෙදා ගැනීමටත් (data sharing) ක්‍රමවත් පද්ධතියක අවශ්‍යතාව මේ මොහොතේ හෝ යථාර්ථයක් බවට පත් කර ගැනීමට අප ක්‍රියා කළ යුතුය. අප රට තුළ පවතින යල් පැන ගිය හා ඉක්මණ් ප්‍රතිසංවිධානයක් අත්‍යවශ්‍ය පෞද්ගලික බස් ප්‍රවාහන සේවය තුළ පවා, රියදුරන් හා කොන්දොස්තරවරුන් තමන්ට ඉදිරියෙන් හා පසුපසින් ඊළඟ බසය ඇත්තේ කොතැනද මෙන්ම එය යන වේගය හා එහි සිටින මගීන් සංඛ්‍යාවත් දැන ගැනීමට ඉතා කාර්යක්ෂම ක්‍රම ඔවුන් විසින්ම සකසා ගෙන ඇති සමයක, ගංවතුර වැනි ප්‍රධාන පෙළේ ආපදාවක් කළමනාකරණය කර ගැනීමට තොරතුරු පද්ධතියක් සකස් කර ගැනීමට රජයට නොහැකි නම් එය ලැජ්ජාවට කරුණකි.

Saturday, June 4, 2016

කොළඹ ගංවතුර - 1

මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් මාතෘකාවක් වී ඇත්තේ පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයයි. විශේෂයෙන්ම කොළඹ ගංවතුර පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර එහි ප්‍රධාන තැනක්, "රාවය" පුවත්පතේ පළ වූ ලිපියක් හා ඊට සබැඳි මෙන්ම බාහිර "ෆේස්බුක් පෝස්ට්" හරහා, "මුට්වෝල් ටනල්" වෙත හිමි වී ඇත. මාගේ මෙම ලිපියේ අරමුණ, "මුට්වෝල් ටනල්" ගැන මෙන්ම ඉන් ඔබ්බට ගොස් සමස්තයක් ලෙස කොළඹ ගංවතුර තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමයි.

මෙම ලිපිය සඳහා මා "කොළඹ" යනුවෙන් හඳුන්වන්නේ කොළඹ දිස්ත්‍රික්කය හෝ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නොව, වපසරියෙන් ඒ දෙක අතරමැද පවතින ප්‍රදේශයක් වන අතර, පහසුව තකා එය මෙසේ හඳුනාගනිමු.
  • උතුරින් - කැලණි ගඟ
  • බස්නාහිරින් - ඉන්දියන් සාගරය
  • දකුණින් - දළ වශයෙන් "හයිලෙවල්" පාර - නුගේගොඩ - කළුබෝවිල හරහා දෙහිවල දක්වා පාර
  • නැගෙනහිරින් - දළ වශයෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය

මෙම ලිපියට පාදක වන කොළඹ... (ගත්තේ මෙතනින්)
මෙම ප්‍රදේශය, වැසි ජලය බැස යන ආකාරය අනුව, ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
  1. කැලණි ගඟේ ජල ගැලුම් නිම්නය ලෙස පවතින කොළොන්නාව ප්‍රදේශය
  2. සෘජුවම ඉන්දියන් සාගරය වෙත ජලය බැස යන මුහුදුබඩ ප්‍රදේශය
  3. සෘජුවම බේරේ වැව වෙත ජලය බැස යන ප්‍රදේශය
  4. කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණිය (Metro Colombo Basin) ලෙස තාක්ෂණිකව හඳුනා ගන්නා, ඉතිරි ප්‍රදේශය (මෙම කොටස් හතරින් විශාලම කොටස)

මෙම කොටස් හතරින් 2 හා 3 ලෙස දක්වා ඇති කොටස් ඉතා විශාල ඒවා නොවන අතර, ඒවායේ ඇති වන ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මාර්ග අයිනේ ඇති ජලය බැස යාමේ කාණු පද්ධති හා අනෙකුත් කුඩා කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොවීම හේතුවෙන් ස්ථානීය වශයෙන් ඇති වන ගංවතුරයි (local flooding).

එබැවින්, ප්‍රධාන ගංවතුර තත්ත්වයන්ට ලක් වීමේ අවදානම ඇති 1 හා 4 යන කොටස් වෙත පමණක් මෙම ලිපිය තුළින් සාකච්ඡා කරමි. එම කොටස් දෙකෙහි ගංවතුර සඳහාද අනන්‍ය හේතූන් පැවතීම, තාක්ෂණික ඇසකින් මේ දෙස බලන අප වැනි අයට එය අවබෝධ කර ගැනීමට හා ඒ සඳහා පිළියම් සෙවීමට පහසුවක් ඇති කරන නමුත්, ඊට පිටතින් සිට මේ දෙස බලන අය ව්‍යාකූලත්වයට පත් කිරීමට සමත් වී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර

කැලණි ගඟේ ගංවතුරින් අවට ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය යුගයේදී පමණ ගඟේ වම් ඉවුර (කොළඹ දිස්ත්‍රික්කය) හා දකුණු ඉවුර (ගම්පහ දිස්ත්‍රික්කය) සඳහා ගංවතුර ආරක්ෂණ බැමි සහ ගේට්ටු පද්ධතියක් ඉදි කරනු ලැබ ඇත. මෙම ආරක්ෂණ පද්ධති මගින් කැලණි දකුණු ඉවුර, ආසන්න වශයෙන් පෑලියගොඩ සිට පූගොඩ දක්වාත් වම් ඉවුර, ආසන්න වශයෙන් ග්‍රෑන්ඩ්පාස් සිට කලුඅග්ගල දක්වාත් ආරක්ෂා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම මෙය තනි බැම්මක් ලෙස දැකිය නොහැකි අතර උස් බිම් යා කරමින් තැනින් තැන ඉදි වූ බැමි (මීට වම් ඉවුරේ වරාය සිට ඔරුගොඩවත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයට සමාන්තර බැම්මද අයත් වේ) සහ ස්වාභාවික ඇළ මාර්ග ගඟට වැටෙන ස්ථාන වල ඉදි කරන ලද ගේට්ටු වලින් එය සමන්විත වේ.

කෙසේ වෙතත්, දකුණු ඉවුර හා වම් ඉවුර සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් නම්, දකුණු ඉවුරේදී ආරක්ෂණ බැම්ම ගං ඉවුරට ඉතා ආසන්නයෙන් ඊට සමාන්තරවම දිවෙන මුත් වම් ඉවුරේ එක්තරා කොටසකදී බැම්ම සැලකිය යුතු ලෙස ගොඩබිම දෙසට වන්නට ඉදි වී තිබීමයි. එකල එබඳු තීරණයක් ගැනීමට හේතුවක් නිශ්චිතව නොදන්නා මුත් ඒ වන විට කැලණිය ආශ්‍රිත දකුණු ඉවුර ජනාකීර්ණවද කොළොන්නාව ආශ්‍රිත වම් ඉවුර බොහෝ දුරට ජනශුන්‍යවද පවතින්නට ඇතැයි සිතිය හැකිය. කොළොන්නාව ප්‍රදේශයේ භූමියේ උසද ඉතා අඩු මට්ටමක පැවතීම තුළ, ස්වාභාවිකවම මෙන්ම ප්‍රතිපත්තිමය තීරණයක් මතද එය කැලණි ගඟේ පහළ කොටසෙහි ජල ගැලුම් නිම්නය බවට පත්ව ඇත.

එහෙත් පසුකාලීනව, කොළඹට ඉතා ආසන්නව පිහිටීම නිසා භූමියේ අගය වැඩි වීමත් නිසි සැලසුමක් රහිත නාගරීකරණයත් දේශපාලනික බලපෑමත් නිසා අතිශය ජනාකීර්ණ වූ කොළොන්නාවට, කැලණි ගඟේ ඉහළ ජලාධාරයන්ට අධික වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී ගංවතුර ඇති වීම අනිවාර්ය සිද්ධියක් වන අතර මෙවර කොළොන්නාව ආශ්‍රිතව ඇති වූයේද එම තත්ත්වයයි. එලෙස ගඟේ ජලය ඉවුරු තලා නොගියද ස්වාභාවිකව පහත් බිමක් වීම හේතුවෙන් කොළොන්නාවට යම් ඉහළ මට්ටමක වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී පවා එම ජලය වේගවත්ව බැස යාමට ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යට වීම සිදු වේ.
කොළොන්නාවට මෙවර බල පෑ ගංවතුර... (ගත්තේ මෙතනින්)
මෙම තත්ත්වය මග හැරවීමට නම් එක්කෝ කොළොන්නාව මිනිස් ජනාවාසයක් ලෙස පිළිගෙන කැලණි ගඟේ වම් ඉවුරු බැම්මේ මට්ටම එසවීම මගින් හා ඇතුළත එක්රැස් වන ජලය ඉවත් කිරීමට පොම්පාගාර (එකක් හෝ කිහිපයක්) යෙදීම මගින් එම ප්‍රදේශය ගංවතුරින් මුදා ගත යුතුය. වම් ඉවුරේ මට්ටම එසවීම අනිවාර්යයෙන්ම ගඟේ ඉහළ ජලාධාරයන්ට පමණක් නොව නුදුරුවම ඇති දකුණු ඉවුරු බැම්මට හා ඉන් ආරක්ෂා කරනු ලැබ ප්‍රදේශයන්ට සෘජුවම ඇති බලපාන බැවින් එය සිදු කළ යුත්තේ මුළු ගං ද්‍රෝණියම ආවරණය වන පරිදි සිදු කරන විස්තරාත්මක අධ්‍යයනයකින් පසුව පමණකි. අනෙක් විකල්පය වන්නේ කොළොන්නාව ගඟේ ස්වාභාවික ජල ගැලුම් නිම්නය ලෙස පිළිගෙන එහි ජීවත් වන ජනතාව (ඉතා පහත් බිම් වල වෙසෙන්නන් පමණක් හෝ) ඉන් ඉවත් කර සුදුසු ස්ථානයක පදිංචි කරවීමයි. මේ දෙකම ඉතා වියදම් අධික සහ වෙහෙසකර ව්‍යායාමයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් මේ අන්තයන් දෙකින් එකක් තෝරා ගැනීම හැර "මැද මාවතක" විසඳුමක් මේ සඳහා නොමැති බව මාගේ විශ්වාසයයි.


"කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණියේ" ගංවතුර ගැන මීළඟ ලිපියෙන්...