Saturday, June 4, 2016

කොළඹ ගංවතුර - 1

මේ දිනවල බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් මාතෘකාවක් වී ඇත්තේ පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයයි. විශේෂයෙන්ම කොළඹ ගංවතුර පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති අතර එහි ප්‍රධාන තැනක්, "රාවය" පුවත්පතේ පළ වූ ලිපියක් හා ඊට සබැඳි මෙන්ම බාහිර "ෆේස්බුක් පෝස්ට්" හරහා, "මුට්වෝල් ටනල්" වෙත හිමි වී ඇත. මාගේ මෙම ලිපියේ අරමුණ, "මුට්වෝල් ටනල්" ගැන මෙන්ම ඉන් ඔබ්බට ගොස් සමස්තයක් ලෙස කොළඹ ගංවතුර තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමයි.

මෙම ලිපිය සඳහා මා "කොළඹ" යනුවෙන් හඳුන්වන්නේ කොළඹ දිස්ත්‍රික්කය හෝ කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නොව, වපසරියෙන් ඒ දෙක අතරමැද පවතින ප්‍රදේශයක් වන අතර, පහසුව තකා එය මෙසේ හඳුනාගනිමු.
  • උතුරින් - කැලණි ගඟ
  • බස්නාහිරින් - ඉන්දියන් සාගරය
  • දකුණින් - දළ වශයෙන් "හයිලෙවල්" පාර - නුගේගොඩ - කළුබෝවිල හරහා දෙහිවල දක්වා පාර
  • නැගෙනහිරින් - දළ වශයෙන් කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය

මෙම ලිපියට පාදක වන කොළඹ... (ගත්තේ මෙතනින්)
මෙම ප්‍රදේශය, වැසි ජලය බැස යන ආකාරය අනුව, ප්‍රධාන කොටස් හතරකට බෙදා දැක්විය හැකිය.
  1. කැලණි ගඟේ ජල ගැලුම් නිම්නය ලෙස පවතින කොළොන්නාව ප්‍රදේශය
  2. සෘජුවම ඉන්දියන් සාගරය වෙත ජලය බැස යන මුහුදුබඩ ප්‍රදේශය
  3. සෘජුවම බේරේ වැව වෙත ජලය බැස යන ප්‍රදේශය
  4. කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණිය (Metro Colombo Basin) ලෙස තාක්ෂණිකව හඳුනා ගන්නා, ඉතිරි ප්‍රදේශය (මෙම කොටස් හතරින් විශාලම කොටස)

මෙම කොටස් හතරින් 2 හා 3 ලෙස දක්වා ඇති කොටස් ඉතා විශාල ඒවා නොවන අතර, ඒවායේ ඇති වන ගංවතුර තත්ත්වයන්ට ප්‍රධාන හේතුව මාර්ග අයිනේ ඇති ජලය බැස යාමේ කාණු පද්ධති හා අනෙකුත් කුඩා කාණු පද්ධති නිසි පරිදි නඩත්තු නොවීම හේතුවෙන් ස්ථානීය වශයෙන් ඇති වන ගංවතුරයි (local flooding).

එබැවින්, ප්‍රධාන ගංවතුර තත්ත්වයන්ට ලක් වීමේ අවදානම ඇති 1 හා 4 යන කොටස් වෙත පමණක් මෙම ලිපිය තුළින් සාකච්ඡා කරමි. එම කොටස් දෙකෙහි ගංවතුර සඳහාද අනන්‍ය හේතූන් පැවතීම, තාක්ෂණික ඇසකින් මේ දෙස බලන අප වැනි අයට එය අවබෝධ කර ගැනීමට හා ඒ සඳහා පිළියම් සෙවීමට පහසුවක් ඇති කරන නමුත්, ඊට පිටතින් සිට මේ දෙස බලන අය ව්‍යාකූලත්වයට පත් කිරීමට සමත් වී ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුර

කැලණි ගඟේ ගංවතුරින් අවට ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය යුගයේදී පමණ ගඟේ වම් ඉවුර (කොළඹ දිස්ත්‍රික්කය) හා දකුණු ඉවුර (ගම්පහ දිස්ත්‍රික්කය) සඳහා ගංවතුර ආරක්ෂණ බැමි සහ ගේට්ටු පද්ධතියක් ඉදි කරනු ලැබ ඇත. මෙම ආරක්ෂණ පද්ධති මගින් කැලණි දකුණු ඉවුර, ආසන්න වශයෙන් පෑලියගොඩ සිට පූගොඩ දක්වාත් වම් ඉවුර, ආසන්න වශයෙන් ග්‍රෑන්ඩ්පාස් සිට කලුඅග්ගල දක්වාත් ආරක්ෂා කරනු ලබයි. ඇත්ත වශයෙන්ම මෙය තනි බැම්මක් ලෙස දැකිය නොහැකි අතර උස් බිම් යා කරමින් තැනින් තැන ඉදි වූ බැමි (මීට වම් ඉවුරේ වරාය සිට ඔරුගොඩවත්ත දක්වා දිවෙන දුම්රිය මාර්ගයට සමාන්තර බැම්මද අයත් වේ) සහ ස්වාභාවික ඇළ මාර්ග ගඟට වැටෙන ස්ථාන වල ඉදි කරන ලද ගේට්ටු වලින් එය සමන්විත වේ.

කෙසේ වෙතත්, දකුණු ඉවුර හා වම් ඉවුර සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් නම්, දකුණු ඉවුරේදී ආරක්ෂණ බැම්ම ගං ඉවුරට ඉතා ආසන්නයෙන් ඊට සමාන්තරවම දිවෙන මුත් වම් ඉවුරේ එක්තරා කොටසකදී බැම්ම සැලකිය යුතු ලෙස ගොඩබිම දෙසට වන්නට ඉදි වී තිබීමයි. එකල එබඳු තීරණයක් ගැනීමට හේතුවක් නිශ්චිතව නොදන්නා මුත් ඒ වන විට කැලණිය ආශ්‍රිත දකුණු ඉවුර ජනාකීර්ණවද කොළොන්නාව ආශ්‍රිත වම් ඉවුර බොහෝ දුරට ජනශුන්‍යවද පවතින්නට ඇතැයි සිතිය හැකිය. කොළොන්නාව ප්‍රදේශයේ භූමියේ උසද ඉතා අඩු මට්ටමක පැවතීම තුළ, ස්වාභාවිකවම මෙන්ම ප්‍රතිපත්තිමය තීරණයක් මතද එය කැලණි ගඟේ පහළ කොටසෙහි ජල ගැලුම් නිම්නය බවට පත්ව ඇත.

එහෙත් පසුකාලීනව, කොළඹට ඉතා ආසන්නව පිහිටීම නිසා භූමියේ අගය වැඩි වීමත් නිසි සැලසුමක් රහිත නාගරීකරණයත් දේශපාලනික බලපෑමත් නිසා අතිශය ජනාකීර්ණ වූ කොළොන්නාවට, කැලණි ගඟේ ඉහළ ජලාධාරයන්ට අධික වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී ගංවතුර ඇති වීම අනිවාර්ය සිද්ධියක් වන අතර මෙවර කොළොන්නාව ආශ්‍රිතව ඇති වූයේද එම තත්ත්වයයි. එලෙස ගඟේ ජලය ඉවුරු තලා නොගියද ස්වාභාවිකව පහත් බිමක් වීම හේතුවෙන් කොළොන්නාවට යම් ඉහළ මට්ටමක වර්ෂාපතනයක් ඇති වන අවස්ථාවකදී පවා එම ජලය වේගවත්ව බැස යාමට ක්‍රමයක් නොමැති වීම හේතුවෙන් එම ප්‍රදේශය ජලයෙන් යට වීම සිදු වේ.
කොළොන්නාවට මෙවර බල පෑ ගංවතුර... (ගත්තේ මෙතනින්)
මෙම තත්ත්වය මග හැරවීමට නම් එක්කෝ කොළොන්නාව මිනිස් ජනාවාසයක් ලෙස පිළිගෙන කැලණි ගඟේ වම් ඉවුරු බැම්මේ මට්ටම එසවීම මගින් හා ඇතුළත එක්රැස් වන ජලය ඉවත් කිරීමට පොම්පාගාර (එකක් හෝ කිහිපයක්) යෙදීම මගින් එම ප්‍රදේශය ගංවතුරින් මුදා ගත යුතුය. වම් ඉවුරේ මට්ටම එසවීම අනිවාර්යයෙන්ම ගඟේ ඉහළ ජලාධාරයන්ට පමණක් නොව නුදුරුවම ඇති දකුණු ඉවුරු බැම්මට හා ඉන් ආරක්ෂා කරනු ලැබ ප්‍රදේශයන්ට සෘජුවම ඇති බලපාන බැවින් එය සිදු කළ යුත්තේ මුළු ගං ද්‍රෝණියම ආවරණය වන පරිදි සිදු කරන විස්තරාත්මක අධ්‍යයනයකින් පසුව පමණකි. අනෙක් විකල්පය වන්නේ කොළොන්නාව ගඟේ ස්වාභාවික ජල ගැලුම් නිම්නය ලෙස පිළිගෙන එහි ජීවත් වන ජනතාව (ඉතා පහත් බිම් වල වෙසෙන්නන් පමණක් හෝ) ඉන් ඉවත් කර සුදුසු ස්ථානයක පදිංචි කරවීමයි. මේ දෙකම ඉතා වියදම් අධික සහ වෙහෙසකර ව්‍යායාමයන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් මේ අන්තයන් දෙකින් එකක් තෝරා ගැනීම හැර "මැද මාවතක" විසඳුමක් මේ සඳහා නොමැති බව මාගේ විශ්වාසයයි.


"කොළඹ අගනගරාශ්‍රිත ද්‍රෝණියේ" ගංවතුර ගැන මීළඟ ලිපියෙන්...

11 comments:

  1. පසුගිය දවස් වල ලංකාව මුහුණපෑ ගංවතුර තත්ත්වයත් සමග මුහුණුපොතේ සහ ඇතැම් පුවත්පත් වල සඳහන් වෙලා තිබුණු විවිධාකාරයේ යෝජනා සහ චෝදනා සඳහා මෙවැනි තාක්ෂණික පැහැදිලි කිරීමක් අත්‍යවශ්‍යම මොහොතක ඔබ ගත් මේ උත්සාහය ප්‍රශංසනීයයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, සර්. මම පුළුවන් විදියට මගේ දැනුමේ හැටියට මෙ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරනවා. පුළුවන් නම් ඔබ ජීවත් වන රටෙනුත් ගැළපෙන උදාහරණ අරන් අපට අදාළ කරගන්න පුළුවන් දේවල් ගැන අපිව දැනුවත් කරන්න.

      Delete
    2. කොළඹ අගනගරාශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යපෘතිය මගින් යෝජිත සමෝධානිත ජලගැලුම් කළමනාකරණ ක්‍රමවේධය (Integrated Flood Management System) සහ ජලගැලුම් සිතියම් සැකසීමේ කාර්යය අවසන් වූ පසු මහජනයා පෙර දැනුවත් කිරීම සාර්ථකව කල හැකි වේවි.
      මෑතකදී ලංකාවට බලපෑ වර්ෂාපතන තත්ත්වයට සරිලන පරිදි ජලාපවහන පද්ධති නිර්මාණය ගැටළුකාරී වුවත් කාලගුණ විපර්යාස සමග මුහුණ දීමට සිදුවන අධික වර්ෂාපතන තත්ත්ව යටතේදී ජලාපවහන පද්ධති වෙත ගලාඑන ජල පරිමාව අවම කිරීම වෙනුවෙන් යමක් කල හැකි බවයි මම හිතන්නේ.
      ලංකාවේ විශේෂයෙන්ම බස්නාහිර පළාතේ නාගරික සැලසුම්කරණයේදී low impact development concepts, pervious pavements, green parking lots, rainwater harvesting, onsite storm water detention, rain gardens, bio swales වැනි අංශ වෙත වැඩි අවධානයක් යොමු කල යුතු බවයි මගේ අදහස. ලෝකයේ බොහෝ රට වල නාගරික සැලසුම්කරණයේදී මෙවැනි කරුණු වෙත වසර ගණනාවක සිට අවධානය දක්වා ඇතත් අපි ඉන්නේ ගවු ගානක් පිටුපසින්.

      Delete
  2. 'දෙයියන්නේ රටේ' නමිත් තවත් බ්ලොග් අඩවියක් තියනවා.

    මෙන්න තියනවා සබැඳියාව

    මේ අඩවිය 'දෙයියන්ගෙ රටේ' නිසා, පටලැවිල්ලක් වෙන එකක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ආහ්... ඇත්තටම අදමයි මම දැනුවත් වුණේ එහෙම බ්ලොග් එකක් ගැන. ස්තූතියි දැනුවත් කළාට සහ තවත් අයව මේ පැත්තට එව්වට.

      Delete
  3. මෙතනට එන්න පාර පෙන්නා දුන්නෙ ඉහත කොමෙන්ටුව එවන විචාරකතුමා. බොහොම වටිනා ලිපි පෙළක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... පරණ ලිපිත් කියවලා දිගටම රැඳෙන්න...

      Delete
  4. මෙතනට එන්න පාර පෙන්නා දුන්නෙ ඉහත කොමෙන්ටුව එවන විචාරකතුමා X 2 :) දැන් දිගටම එන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... දිගටම එමු...

      Delete
  5. මගේ බ්ලොග් පෝස්ට් එකේ මේ ලිපියට මෙහෙම උත්තරයක් දුන්නා.

    "කස්සපගේ විසඳුම් වනුයේ කොළඹ නගරයේ ස්වාභාවික ව්‍යාප්තිය සලකා බැමි පද්ධතිය තවත් ගඟ දිගේ ඉහලට ගෙනයාම හෝ ඔරුගොඩවත්ත කොලොන්නාව කඩුවෙල පලාත්වල අනාරක්ෂිත ජනතාව වෙනත් පෙදෙස් වලට යැවීම.

    කස්සපගේ දෙවැන්න ප්‍රායෝගිකයි කියා හිතන්නේ නැහැ. පළමුවන විසඳුම මූලික ගැටලුව එනම් කොලොන්නාව කඩුවෙල ආදී පෙදෙස් යටවීමට විසඳුමක් වුනත් ඒ අදහස එක්ක මට එකඟ වෙන්න බැරි හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඔහු කියන්නේ කොළඹ නගරය විසින් ගඟ අහුරන නිසා කඩුවෙල යටවෙන තත්වය තවත් නැගෙනහිරට යවන්න කියන එක. ඒ අනුව කඩුවෙල දක්වාම ගඟේ පැතිරීම බැමි වලින් වලකා දැම්මම එන වතුර බහින්න තැනක් නැති නිසා හංවැල්ල සීතාවකපුර ආදී පෙදෙස් යටවෙනවා. ඒ වගේම ගඟේ උතුරු බැම්ම උසින් අඩු නිසා වත්තල ජා ඇළ ආදී පෙදෙස් යටවෙනවා. ඒ නිසා මට එය සාර්ථක විසඳුමක් ලෙස පෙනෙන්නේ නැහැ. "

    ReplyDelete
  6. බැරිවෙයිද නාථ දෙයියන්ට කියලා වැස්ස කොන්ටෝල් කරගන්න. කන්න ලව් වට එච්චර වියදමක් යන එකකක් නැ

    ReplyDelete